කොළඹ ආනන්ද විද්‍යාලයේ සත්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම දේශපාලනික අරමුණක් ඉටු කිරීමට දරන උත්සාහයක් ලෙස ඇතැම් පිරිසක් විසින් සමාජගත කිරිම පිළිකුල් සහගත
ක්‍රියාවකැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම නිවේදනය මෙසේ ද සඳහන්වේ. කොළඹ ආනන්ද විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද සත්මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම දේශපාලන කටයුත්තක් පෙරදැරිකරගෙන සිදුවන්නක් බවට මතයක් සමාජගත කරන්නට ඇතැම් පිරිස් විසින් දරන උත්සාහය කනගාටුදායකය.

ආනන්ද විද්‍යාලයේ ගිලාබැසීම අවදානමකට ලක්ව තිබූ මහල් පහකින් යුත් මුවර් ගොඩනැගිල්ල වෙනුවට නව සත්මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් අදාළ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් 
මහතා විසින් 2016 ඔක්තෝබර් 26 වැනි දින 2016/ED/E/34 දරන අමාත්‍ය මණ්ඩල  සංදේශය ඉදිරිපත් කරන ලද අතර ඒ අනුව 2016 නොවැම්බර් මස 08 වැනි දින පැවැත්වුණු  අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එම ඉදිකිරිම්  කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරිමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබීය.

ඒ අනුව ආනන්ද විද්‍යාලයේ මෙම යෝජිත  සත්මහල් ගොඩනැගිල්ලට මුල්ගල තැබිම හැර ඉතිරි ඉදිකිරීම් කටයුතු සියල්ල සිදු කෙරුණේ 2016 වසරේ අදාළ කොන්ත්‍රාත් ප්‍රදානයෙන් පසුවය. 2017.10.21 දින මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා මේ සම්බන්ධව ලිපියක් මගින් දැනුම් දී ඇතැයි සඳහන් වන්නේ 2014 වසරේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් අදාළ ඉදිකිරීම් කටයුතු ආරමිභ කරන ලද බවයි.

එහෙත් 2015 වසරේ ජනාධිපතිවරණයට දින 7ක් තිබියදි හිටපු ආරක්ෂක ලේකම්වරයා ලවා මෙම ගොඩනැගිල්ලට මුල්ගල තැබීම සිදුකර ඇත්තේ මෙම ඉදිකිරීම් සඳහා ප්‍රතිසම්පාදන ක්‍රියාවලියක් හෝ අනුගමනය කිරීමකින් තොරවය. 2015 වසරේ ජනාධිපතිවරණයට දින 7ක් තිබිය දී මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද බව දැන දැනත් 2014 වර්ෂයේදී මෙම ඉදිකිරීම් ආරම්භ කළ බව සඳහන්
කිරීම මැතිවරණ කොමිසම නොමග යැවීමකි. එමෙන්ම ජනතවට සත්‍යය වසන් කිරීමකි.

එම අවස්ථාවේ දී මුල්ගල තැබීම දේශපාලන වාසි ගැනීමේ අරමුණින් කරන ලද්දක් බවට මැතිවරණ කොමසාරිස්වරයාට ද කිසිවෙකුත් පැමිණිලි ඉදිරිපත් කළේ නැත. 2016 වසරේ සහ ඉන් පසුව එළඹි වර්ෂවල අධ්‍යාපන අමාත්‍යාංශ මූල්‍ය ප්‍රතිපාදන මගින් වෙන් කර ගන්නා ලද රුපියල් මිලියන 600කට ආසන්න මුදල් මෙම ගොඩනැගිල් ඉදිකිරීම් කටයුතු සඳහා යොදාගෙන ඇත.

මෙම ගොඩනැගිල්ලේ විවෘත කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී ආනන්ද විද්‍යාලයේ වත්මන් විදුහල්පති, නියෝජ්‍ය විදුහල්පති ඇතුළු කණ්ඩායම ඒ සඳහා අදාළ දිනයන් යොදාගැනීම පිළිබද එකගත්වය පළ කළ අතර ආදි ශිෂ්‍ය හා මව්පිය නියෝජිතයන්ද එකගත්වය ඒ සඳහා පළ කර තිබිණි.
ඒ අනුව අදාළ විවෘත කිරීම් උත්සවය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියද අධ්‍යාපන අමාත්‍යගය වෙත හිමි විය.

එහෙත් ඇතැම් පටු දේශපාලන මත දරන පාර්ශ්වකරුවන් විසින් ආනන්ද විද්‍යාලයේ කීර්තිනාමයට ද හානි පමුණුවමින් මෙම පාසල් අදාළ ගොඩනැගිල්ල විවෘත කිරීම දේශපාලනික අරමුණක් ඉටු කර ගැනීමට දරන උත්සහයක් ලෙස සමාජගත කිරීම පිළිකුල්සහගතය. ආදී ආනන්දියන් ලෙස සහ මව්පිය එකමුතුව නමින්
පෙනී සිටින අදාළ කණ්ඩායම් සැබවින්ම එවැනි නියෝජිතයන් නොවන අතර ඔවුන් දේශපාලන රැස්වීම් සඳහා පෙනී සිටිමින්, දේශපාලන මත සමාජගත කිරීම වෙනුවෙන් තැනින් තැන  පවත්නා උත්සව අවස්ථා සඳහා සම්බන්ධ වන අවස්ථාවාදින් පිරිසකි.

එමෙන්ම ආනන්ද විද්‍යාලයේ ගුරු මාරු ක්‍රියාවලිය යටත් වෙනත් පාසල් වෙත මාරුකර යවන ලද ගුරුවරුන්, දේශපාලන රැස්වීම් මෙහයවන නිවේදකයින් ඇතුළු පිරිස එක්තරා පක්ෂයක අපේක්ෂකයෙකු වෙනුවෙන් ජාතියේ සංස්කෘතික උරුමයක් වන මෙවන් අධ්‍යාපන ආයතනයක කීර්ති නාමය විනාශ කරන්නට දරන උත්සාහය නින්දිතය.

වසර හතර හමාරක් වැනි කෙටි කාලයක් තුළ මෙරට අධ්‍යාපනයේ සිදුකරන ලද විප්ලවය වෙනස ඉවසනු නොහැකිව කුහක දේශපාලනය කරපින්නාගෙන ජනතාව වෙත අසත්‍යය පතුරමින් මෙම දැවැන්ත සංවර්ධන කාර්යයන් ඉටු කරන්නට තැත් කරන්නන් ඉදිරියටත් මෙවැනිම නිර්ලජ්ජිත ක්‍රියාවන්හි නිරතවීමට ඉඩ ඇති බැවින් ඒවායින් ජනතාව ප්‍රවේශම් වීමට වගබලාගත යුතුව ඇත.