වර්තමාන යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නම ඡායාරූපයක් සහ ප්‍රකාශයක් යොදා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පුවත්පත් දැන්වීමක් පළ කර ඇති බව පවසමින් නව ප්‍රජාතන්ත්‍රවාදී
පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ බලයලත් නියෝජිත සහ ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු පර්යේෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (14) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මීට අමතරව අදාළ දැන්වීමෙහි විශ්‍රාමික හමුදා නිලධාරීන්ගේ නිල ඇඳුම් සහිත ඡායාරූප පළ කර ඇති බවත් ජනාධිපතිවරයක් පැවැත්වෙන අවස්ථාවකදි දේශපාලන පක්ෂයක ප්‍රවර්ධනය සඳහා හමුදා නිල ඇදුම සහ ධුර දරන යුධ හමුදාපතිවරයා යොදා ගැනීම බරපතළ ලෙස මැතිවරණය නීති උල්ලංඝනය කිරීමක් බැවින් මේ සම්බන්ධයෙන් කඩිනම්
පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා සිය පැමිණිල්ල මඟින් ඉල්ලීමක් කර ඇත. පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මෙසේ ද පැවැසීය.

"ධුර දරන හමුදාපතිවරයකුගේ ඡායාරූප සහ ප්‍රකාශයකුත්, නිල ඇඳුමින් යුතු විශ්‍රාම ගිය හමුදා නිලධාරින්ගගේ ඡායාරූප සහ ප්‍රකාශ භාවිත කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා  පුවත්පත් දැන්වීම් පළ කර තිබූණා.ධුර දරන හමුදාපතිවරයාත් මෙයින් අපහසුතාවට පත්ව තිබෙනවා. ඒ වගේම මැතිවරණ පිළිබඳව තිබෙන නීති රිති ආචාර ධර්ම කඩවෙලා.

මෙම වරදෙහි ප්‍රමාණය කොපමණ දැයි කිව්වොත් ලංකාවේ තීන්දු වු මැතිවරණ පෙත්සම්වල තිබෙන මූලධර්ම අනුව මැතිවරණයක් ජයග්‍රහනය කරන අපේක්ෂකගේ ජයග්‍රහණය නිෂ්ප්‍රභ කිරීමට තරම් මේ මැතිවරණ වරද ප‍්‍රබලයි. මේ පිළිබඳව අපි  මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව  සහ වාචිකව පැළිණිල්ලක් ඉදිරිපත් කළා.

සමස්ත හමුදාව සහ හමුදා නිලධාරීන් අපහසුතාවට පත්කරමින් එක් පක්ෂයක මැතිවරණ ප්‍රවර්ධනය සඳහා මෙලෙස කටයුතු කිරීම අප පිළිකුලෙන් හෙළා දකිනවා. මේ තරම් වගකීම් විරහිත විදියට කටයුතු කරන්නේ ඇයි දැයි අපට හිතාගන්න බෑ.  මෙය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වන රජයක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට රටේ ආරක්ෂාව භාර දෙනවා කියන මැතිවරණ ප්‍රතිඥාව දුන්නාට පසුව එයින් කලබලයට හා කම්පනයට පත්වූ ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම් කණ්ඩායම් හදිසියේ කළ නීති විරෝධී ක්‍රියාවක්."

-නිමල කොඩිතුවක්කු-