පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක්‌ බණ්‌ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගයේ බිඳුණුවැව ප්‍රදේශයේ ඊයේ (18) හවස 2.30 ට පමණ මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි කණුවක හැපීමෙන් පාසල්
ළමුන් අටදෙනෙකු සහ රියදුරු තුවාල ලබා බණ්‌ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි බණ්‌ඩාරවෙල පොලිසිය පවසයි.

 මෙම අනතුරින් පාසල් ශිෂ්‍යාවන් හත්දෙනෙකු සහ එක්‌ සිසුවකුද රියදුරුද තුවාල ලබා බණ්‌ඩාරවෙල රෝහලට ඇතුළත් කර ඇත.

 බණ්‌ඩාරවෙල හීල්ඔය මාර්ගයේ සිට පාසල් නිමවීමෙන් පසු පාසල් ළමුන් රැගත් මෙම වෑන් රථය බිඳුණුවැව ප්‍රදේශයෙන් බණ්‌ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගයට ඇතුළු කිරීමේදී මාර්ගය අසල තිබූ අධිබලැති විදුලි කණුවක හැපීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.

 අධිබලැති විදුලි කණුව මෙම අනතුරින් බණ්‌ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගය හරහා වැටීමෙන් බණ්‌ඩාරවෙල බදුල්ල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ. ප්‍රධාන මාර්ගයේ ධාවනය වන රථවාහන බණ්‌ඩාරවෙල උතුරු කැඹිල්ලෙවෙල හරහා ඇති විකල්ප මාර්ගයේ ධාවනය කිරීමට බණ්‌ඩාරවෙල පොලිසිය කටයුතු කර ඇත.

 මෙම අනතුරින් මෙම ස්‌ථානයේ මාර්ගයේ අනෙක්‌ පස තිබූ තවත් විදුලි කණුවක්‌ද කඩා වැටීම නිසා එම ස්‌ථානයේ නතර කර තිබූ මෝටර් රථයකට හා ත්‍රිරෝද රථයකට ද දැඩි හානි සිදුවී තිබේ.

 මෙම අනතුරින් වෑන් රථයටද දැඩි අලාභ හානි සිදුවී ඇත. රියදුරුගේ තත්ත්වය බරපතළ බැවින් වෑන් රථයේ රියදුරු දියතලාව මූලික රෝහලට මාරු කර යවා තිබේ.

 බණ්‌ඩාරවෙල පොලිසියේ රථවාහන අංශයේ නිළධාරීහු මේ පිළිබඳව පරීක්‌ෂණ සිදුකරති.

කරුණාරත්න පල්ලේගම - බණ්‌ඩාරවෙල