අවමංගල කටයුතු සිදුකිරීමට මුදල් නොමැති බව කියමින් පුත්‍රයකු තම 81 හැවිරිදි මවගේ සිරුර කැලයට විසි කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් වටවල පොලිසිය විමර්ෂනයක් ආරම්භ කර ඇත. වටවල
පොලිස් වසමට අයත් විග්ටන් ඉහළ කොටසේ පදිංචිව සිටි 81 හැවිරිදි වල්ලිඅම්මා රාගෙයි නමැති එක්දරු මව ඉකුත් 29 වැනිදා රාත්‍රි රෝගාතුරව නිවසේදීම මියගොස් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

මවගේ අවමංගල කටයුතු සිදුකිරිමට මුදල් නැති නිසා සිරුර කැලෑවට විසි කරන බව පවසා
තම සැමියා එදින රාත්‍රියේම මවගේ සිරුර ත්‍රිරෝද රථයකට පටවා ගෙන තම 15 හැවිරිදි දෙවැනි පුත්‍රයා සමඟ පිටත්ව ගිය බවත් සැමියා සහ පුත්‍රයා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවත් මියගිය කාන්තාවගේ ලේලියක වන ආර්. විග්වා ගෞරවී නැමැත්තිය පොලිසියට පවසා ඇත.

මේ අතර වයස්ගත කාන්තාවගේ මරණය ස්වාභාවික මරණයක් නොව ඝාතනයක් බවට සැකකරන බවට වතුයායේ පදිංචි කම්කරුවන් පිරිසක් වටවල පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර කැලෑවට විසි කළේ යැයි කියන කාන්තාවගේ සිරුර සොයා වතු කම්කරුවන් සහ වටවල පොලිසියේ නිලධාරීන්ට එක්වී විග්ටන් වතුයායේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇත.

-රංජිත් රාජපක්ෂ-