එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දරන ඇතැම් මත වෙනස් කරන්නේ නම් ඔහු මෙරට සමස්ත ජනතාවම පිළිගන්නා නායකයකු බවට පත් වනු ඇති බව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරයට සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීම පිළිබඳව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය
ලබාදීම පිළිබඳව මම පෞද්ගලිකව සතුටු වෙමි. ඔහු තවමත් තරුණ වයසේ පසුවෙයි. ඔහු කොළඹ රාජකීය විදුහලේ මුලික අධ්‍යාපනය ලැබුවෙක්. එම පාසල්වල අපගේ කාලයේ නම් සියලුම ජනකොටස්වල දරුවන් එකම පන්තියක ඉගෙනුම ලැබුවෝ වෙති. ඉග්‍රීසි භාෂාවෙන් අපි සියලු මිතුරන් අදහස් හුවමාරු කර ගත්තෙමු. සජිත් ප්‍රේමදාස මහතා බ්‍රිතාන්‍යයේද ඉගෙනුම ලබා තිබේ. එබැවින් තමන් ජීවත්වන අතරම අනෙක් පුද්ගලයාත් ජීවත් විය යුතුයි යන මානසිකත්වය ඔහුට තිබෙනු ඇති බව මම විශ්වාස කරමි.

තරුණසවිය වැඩසටහන ඔහු විසින් ජයග්‍රහණය කර ඇත. ජන සුවය, සසුනට අරුණ වැනි වැඩසටහන්ද ඔහු විසින් ක්‍රියාත්මක කර තිබෙන සාර්ථක වැඩසටහන් අතර වේ. එබැවින් ඔහුට හොඳ බද්ධ බීමක් තිබීම අගය කළ යුතුයි. නමුත් ඔහුට දෙමළ ජනතාව පිළිබඳ යම් ස්ථාවර මතයක් නොමැති බව පෙනී යයි. ඔහුගේ පියා දෙමළ තරුණයා ප්‍රචණ්ඩත්වයට පොලඹවනු ලැබූ බවට හඳුනාගෙන තිබේ. එමෙන්ම වර්තමානයේ ප්‍රතිස්සංස්කරණය කොට ඇති බුද්ධ ධර්මය හා බුදුන් විසින් වදාළ ධර්මය අතර වෙනස වටහාගෙන තිබෙනවාදැයි මම නොදනිමි. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බුදුදහමේ හරය ඇතුළත්ව තිබෙන්නට පුළුවන්. නමුත් වර්තමානයේ ප්‍රතිසංස්කරණයට ලක්ව තිබෙන බුදුදහමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ප්‍රමුඛස්ථානය ලබාදී තිබීම වරදක් බව මම අවස්ථා කිහිපයකම පෙන්වා දී ඇත්තෙමි.

වර්තමානයේ ප්‍රතිසංස්කරණය වී ඇති බුද්ධ ධර්මය හා බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්මය හාත්පසින්ම වෙනස්ය. පසුගියදා මුලතිව් ගුරුකන්ද කොළඹ මේධාලංකාර හිමියන්ගේ ආදාහනයේදී බොදුබලසේනා සංවිධානයේ හිමිවරුන් හැසිරෙනු ලැබුවේ එලෙස විකෘති කරන ලද බුද්ධ ධර්මය පිළිපැදීම හේතුවෙනි.
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් යැයි සජිත් ප්‍රේමදාස මහතා තුළ පවතින චින්තනය දෙමළ ජනතාව වෙනුවෙන් විසඳුමක් ලබාදීමට බාධාවක් වනු ඇත.එහෙත් ඔහු එක් දෙයක් මතකයේ තබාගත යුතු වෙයි. මේ රට සිංහල බෞද්ධයන්ට පමණක් අයිති රටක් නොවන බවය. ශ්‍රී ලංකාව බුදුන් වහන්සේ ජීවත් වූ කාලයට පෙර සිට ද්‍රවිඩ ජනතාව ජීවත් වූ රටක් බවත් බුද්ධාගම හඳුන්වා දෙනු ලැබුවේම මෙරට ජීවත් වූ ද්‍රවිඩ හින්දු ජනතාව මධ්‍යයේය. සිංහල භාෂාව මෙරට භාවිතයට පැමිණියේ ක්‍රිස්තු වර්ෂ 6 වැනි 7 වැනි සියවලදීය. මීට වසර 2000කට පෙර පැවැති බෞද්ධ සිද්ධස්ථාන ලෙස අද හඳුන්වනු ලබන්නේ එවක පැවැති දෙමළ බෞද්ධ සිද්ධස්ථානයන්ය.එහෙත් අද ශ්‍රී ලංකාවේ ජීවත් වන ජනතාවගෙන් සියයට 75ක් සිංහල බෞද්ධ ජනතාව බව සත්‍යයි. උතුරු - නැගෙනහිර පළාත්වල ජීවත් වන ජනතාවගෙන් සියයට අසූපහන්ම වන්නේ දෙමළ කතා කරන ජනතාවයි. අප සිතන්නේ කිසිදු ආගමකට ප්‍රමුඛස්ථානයක් ලබාදීමේ අවශ්‍යතාවක් නැති බවයි.
අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පියා වන හිටපු ජනාධිපතිවරයකු වන ආර්. ප්‍රේමදාස මහතාව මම හඳුනන්නෙමි. පියාගේ අඩිපාරහි සජිත් ප්‍රේමදාස මහතා ගමන් කර තිබුණේ නම් ඔහු අද විශිෂ්ට පාලකයකු බවට පත්වීමට අවස්ථාව තිබිණි. - මෙතෙක් කාලයක් මේ රට පාලනය කළ නායකයන්ට තම විශිෂ්ටත්වය විදහා දැක්විය නොහැකි විය. මා විසින් ඉහත පෙන්වා දුන් ගති ලක්ෂණයගෙන් සජිත් ප්‍රේමදාස මහතා ඉවත් වන්නේ නම් රටේ සමස්ත ජනතාවට ප්‍රශංසා කරනු ලබන නායකයෙක් බවට පත්වීමට ඔහුට හැකියාව ලැබෙනු ඇත.