එළැඹෙන ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසය සහයෝගය දක්වන්නේ කිනම් අපේක්ෂකයාටද යන්න පිළිබඳව ලබන සතිය තුළ ප්‍රකාශයට පත් කරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පා.ම. ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවැසීය.
පසුගිය 27 වැනිදා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ආරුමුගන් තොණ්ඩමන් මහතා කියා සිටියේ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කර ඇති ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක
ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහතුන් තම පක්ෂයට කළ ආරාධනාවක් අනුව ඔවුන් දෙපළ සමඟ තම පක්ෂය මේ වනවිට සාකච්ඡා පවත්වා ඇති බවයි.

මෙම තම පක්ෂය විසින් හඳුනාගෙන ඇති චතුකරයට බලපාන කරුණු 32ක් සම්බන්ධයෙන් අදාළ අපේක්ෂකයන් දෙදෙනා සමඟ ලoකා ආකරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් සහ ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු මධ්‍යම පළාත් සභා අමාත්‍ය එම්, රාමේෂ්වරන් යන මහත්වරුන් එම සාකච්ඡාවට සහභාගි වූ බව තොණ්ඩමන් මහතා කීය.
ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා සමඟ පැවති සාකච්ඡා සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සභාව වෙත කරුණු ඉදිරිපත් කොට ජාතික සභාවේ අනුමැතිය ඇතිව ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය කුමන අපේක්ෂක ලබාදෙන්නේද යන බව තීරණයක් ගන්නා බවද ආරුමුගන් තොණ්ඩමන් මහතා කීය. ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් නායකත්වයට දැනුම් දී ඇත්තේ මෙවර ජනාධිපතිවරණයේදි ලoකා කම්කරු කොංග්‍රස් සහයෝගය එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කර ඇති ජනාධිපති අපේක්ෂකයාට ලබාදෙන ලෙසයි.

නෝර්වුඩ් නීටා පද්ම කුමාරි