එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීම අද පස්වරු 3.00ට රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම තුළදී නියමිතව තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු
කණ්ඩායමද අද එහි නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද හමුවීමට නියමිතය.
පසුගිය කාලයේ කතා බහට ලක්වූ රනිල් , කරු හා සජිත් අපේක්ෂකයින් තිදෙනා අතුරින් ඉදිරි ජනපති අපේක්ෂක ලෙස සජිත්ගේ නම සවස සිරිකොත රැස්වීමේදී තීරණය වීමට නියමිත බව දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.
මෙම තීරණය පක්ෂයේ ඒකමතික තීරණයක් ලෙස තීරණය වනු ඇති බවත් කරුගේ හෝ රනිල්ගේ නම නොකියා අගමැති රනිල්ම මෙම යෝජනාව ගෙන එනු ඇති බවත් වාර්තා වෙයි.
එජාප පක්ෂ නීතිරීති වගන්ති අනුව 9.1 වගන්තියේ දැක්වෙන්නේ පක්ෂයේ ඒකමතික තීරණයක් ලෙස ජනපති අපේක්ෂක නම් කළොත් එය නාමයෝජනා මණ්ඩලයකට යොමු කර කල්මැරීමක් අවශ්‍ය නොවන බවයි. යම් හෙයකින් නම් කිහිපයක් යෝජනා වන්නේ නම් අදාළ මණ්ඩලය රැස්වී අවසන් තීරණය දැනුම් දීමක් ගැන එම වගන්ති වල නීති දක්වා තිබේ.
ලැබී තිබෙන දේශපාලන ආරංචි අනුව සජිත්ගේ නම එජාපෙරමුණේ අපේක්ෂකයා ලෙස නම් කිරීමට රවුෆ් හකීම්,දිගම්බරම්,පාඨලී චම්පික,රාජිත සේනාරත්න, මනෝ ගනේෂන් හා රිෂාඩ් බදුර්දීන් යන එජාපයට සහය දෙන පක්ෂ 6 නායකයින්ගේ අනුමැතිය හිමිව ඇත.