කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හළ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායකයා බව කියන මොහොමඩ් සහරාන් නමැති ත්‍රස්තවාදියාගේ සිවු හැවිරිදි දියණිය සීයාට
සහ මිත්තණියට භාරදීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (02දා) නියම කළේය.

මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේත්තුව භාරයේ රඳවාගෙන සිටින එම

දැරිය සුදුසු භාරකාරත්වයකට යොමු කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමකට අනුව පරිවාස වාර්තාවද සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය. ඒ අනුව කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා හළ ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායකයා බව කියන මොහොමඩ් සහරාන් නමැති
ත්‍රස්තවාදියාගේ බිරිද වන අබ්දුල් කාදර් ෆාතිමා කාදියා නමැත්තියගේ මව වන මොහොමඩ් යාසින් සිත්ති සහීලා හා පියා වන මොහාමඩ් හුසේ අබ්දුල් කාදර් නමැති දැරියගේ සීයා  සහ මිත්තණියට ඇය භාරදෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

දරුවාගේ භාරකාරත්වය අධිකරණයේ අවසරයකින් තොරව වෙනත් කිසිවකුට පැවරීමට නොහැකි බවට දරුවාගේ භාරකාරත්වය ගත් දෙපළට නියම කළ මහේස්ත්‍රාත්වරයා දරුවා සම්බන්ධයෙන් අධීක්ෂණය කරන ලෙස කුලියාපිටිය පරිවාස නිලධාරීවරයාට නියම කළේය.

ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන  මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන් දෙදෙනා වන මොහොමඩ් සහරාන් සහ ඊබ්‍රාහිම් ඉල්හාමි අහමඩ් යන දෙදෙනා සම්බන්ධ නඩුවට  අදාළව සිදුකරන විමර්ෂනවල ප්‍රගතිය ලබන ඔක්තෝබර් 16 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරයා මෙම  පැමිණිල්ල එදින යළි කැඳවීමටද  නියම කළේය.