විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (19 වැනිදා) පස්වරුවේ පැවැති විශේෂ ඇමැති මණ්ඩල රැස්වීමට ගෙන ආ යෝජනාව ප්‍රතික්ෂේප වී ඇත.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (19 වැනිදා) මෙම විශේෂ ඇමැති මණ්ඩල රැස්වීම පැවැත්විණි. විනාඩි තිහක පමණ කාලයක් මෙම ඇමැති මණ්ඩල රැස්වීම පැවැති අතර එහිදී විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා ගෙන ආ යෝජනාවට ඇමැතිවරුන් රැසක් විරෝධය පළ කර තිබේ.
අගමැතිවරයා ගෙන ආ යෝජනාවට ඇමැති රාජිත සේනාරත්න සහ රවි කරුණානායක සහයෝගය පළ කරමින් අදහස් දක්වා ඇත.

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති මොහොතක විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් කතාකිරීම වැරැදි බව ඇමැතිවරයකු පෙන්වා දුන්හ. එය ජනතා ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගැසීමක් බවද ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව සාකච්ඡා කළ යුතුව තිබූ බවද ඇමැතිවරුන් පෙන්වා දී ඇත.

එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්ෂවල නායකයන් ලෙස සිටින ඇමැතිවරුද මෙම යෝජනාවට විරුද්ධව අදහස් පළ කිරීම විශේෂත්වයකි. මංගල සමරවීර, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, ම​නෝ ගනේෂන්, පාඨලී චම්පික රණවක, පී. දිගම්බරන්, රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරල ඇතුළු ඇමැතිවරුන් යෝජනාවට විරුද්ධව අදහස් පළ කර ඇත. විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

තවද විශේෂ ඇමැති මණ්ඩල රැස්වීම ආරම්භයේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම රැස්වීම අගමැතිවරයාගේ ඉල්ලීම මත පවත්වන බවයි.
(උදයජීව ඒකනායක)