ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ජීවිත කාලය පුරා වැටුප් ලබාදෙන ආකාරයට ආබාධිත රණවිරුවන්ට හා දිවිපිදු රණවිරු පවුල්වලටද වැටුප් ලබාදෙන ලෙස ඉල්ලා 11 දා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පැවැත්විණි.

ආබාධිත රණවිරුවන් හා දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වල ඥාතීහු එක්ව මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වූහ.
පිරිසක් ජනාධිපති කාර්යාලයට ඇතුළු වන ප්‍රධාන පිවිසුම් මාර්ගය අවහිර කරමින් සත්‍යග්‍රහය පැවැත්වූ අතර, තවත් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට සිට සත්‍යග්‍රහ ව්‍යාපාරය පැවැත්වීමට කටයුතු කළහ.
ආබාධිත රණවිරුවන්ගේ හා දිවිපිදූ රණවිරුවන්ගේ වැටුප ඉවත් කර සාමාන්‍ය විශ්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු කර තිබෙන බවත්, එලස ලබාදෙන විශ්‍රාම වැටුප ජීවත්වීමට ප්‍රමාණවත් නොවන බිවත් විරෝධතාවේ නිරත පිරිස් සඳහන් කළහ.

අදාළ ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරසේන  මහතා මේ වසරේ පැවැත්වූ නිදහස් දිනය උළෙලදී පොරොන්දු වුවද, මෙතෙක් එම පොරොන්දුව ඉටුකර නැතැයිද  විරෝධතාකරුවෝ සඳහන් කරති.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ජීවිත කාලය පුරාම හා ඔහුගෙන් යැපෙන්නන්ට ජීවිත කාලය පුරාම වැටුප් ලබාදෙන බවත්, එහෙත් යුද්ධය නිසා ජීවිතය අහිමි වූ හා ආබාධිත රණවිරුවන්ට එම  වරප්‍රසාදය අහිමි කර තිබෙන බවත් එම පිරිස් පෙන්වා දෙති.
විරෝධතාකරුවන් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනක් පෑවැත්වීමට සැලසුම් කර තිබූ අතර, පොලීසිය මාර්ග බාධක යොදා ලෝටස් පාර වසා දැමීමට කටයුතු කළේය.
ඉන්පසුව ආබාධිත රණවිරුවන් හා දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල පිරිස් විකල්ප මාර්ග ඔස්සේ පෞද්ගලික වාහනවලින් ගොස් සත්‍යග්‍රහ ව්‍යාපාරය පැවැත්වීමට කටයුතු කළහෙ.

- ඉන්දික හේවාවිතාරණ