ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු බව කියන කංජිපානි ඉම්රාන් නමැත්තා කටහඬ පරීක්ෂාව සඳහා ලබන 19 වැනිදා රස පරීක්ෂක කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන  මහේස්ත්‍රාත්  ලංකා ජයරත්න මෙනෙවිය අද  (17)  නියම කළාය.

විමර්ශන කටයුත්තකදී කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකුට මරණීය තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව විමර්ශනය කරන පොලීසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත‍්‍රාත්වරිය එලෙස නියම කළාය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී කංසා ළඟ තබාගෙන
ජාවාරම් කිරීමේ චෝදනාවට වරද පිළිගැනීම නිසා වසර 06 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් විදින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු බව කියන මොහොමඩ් නසීම් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නමැත්තා විශේෂ ආරක්‍ෂාව මධ්‍යයේ බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන  එන ලදී.

ඒ අවස්ථාවේදී සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන වල ප‍්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ පොලීසිය මෙම විමර්ශන සඳහා සැකකරුගේ කටහඬ සාම්පලයක් ලබා ගැනීමට අවශ්‍ය හෙයින් ඔහු රජයේ රස පරික්ෂකවරයා  වෙත ඉදිරිපත් කොට ඔහුගේ කටහඬ  සාම්පලයක් ලබා ගැනීමට නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහෙස්ත‍්‍රාත්වරිය කටහඬ  සාම්පලයක් ලබා ගැනීමට සැකකරු ලබන 19 වැනිදා රස පරීක්ෂක කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළාය.

සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන වල ප‍්‍රගතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙස පොලීසියට නියම කළ මහේස්ත‍්‍රාත්වරිය සැකකරු එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියම කළාය.

(බුද්ධිමාල් රුබේරු )