හම්බෙගමුව රෝහල් අලුතින්ම ගිලන් රියට ඊයේ (15) ගවයකු හැපීමෙන් දැඩි  අලාභහානි සිදුවි ගවයාද මරණයට පත්ව ඇති බව තණමල්විල පොලිසිය කියයි. හම්බෙගමුව රෝහලේ සිට ඇඹිලිපිටිය දිසා මහ රෝහලට රෝගියකු බාරදී හම්බෙගමුව රෝහල වෙත ආපසු පැමිණෙමින් සිටිය දී මෙම අනතුර සිදුවී ඇති බව
පොලීසිය පැවැසුවේය.
මෙම ස්ථානයේ නිදැල්ලේ හැරදමා සිටින ගවයින් නිසා මීට සතියකට  පමණ පෙර හම්බෙගමුව ද්විතීයික පාසලේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හදාරන ඩබ්ලිව්. ඉසුර දිල්ෂාන් නැමැති දාහත් හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු ඔහු පැදවූ යතුරුපැදිය පාරේ සිටි ගවයකුගේ සිරුරේ වැදී
අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්වූ බවද පොලිසිය පැවසුවේය.

ගවහිමියන් හතර පස් දෙනකුගේ ගවයින් රාත්‍රී කාලයේ ගාල් නොකර නිදැල්ලේ සිටීමට හැරීම නිසා හම්බෙගමුව  සහ බලහරුව හන්දිය අතර ප්‍රදේශයේ රාත්‍රී කාලයට අනතුරු සිදුවන බව ප්‍රදේශවාසීහු කියති. ගිලන්රථ අනතුර පහළොස්වන බවද ඔවුහු කීහ.

අනතුර නිසා මෑතකදී ලැබුණ අලුත්ම ගිලන් රථයට දැඩි ලෙස අලාභහානි සිදුව ඇති බවද පොලිසිය පැවැසුවේය. රියැදුරාට හෝ එහි ගමන්ගත් අයට හානි සිදුව නැත. රාත්‍රී කාලයේ පවතින අඳුර නිසා පාරේ ලැග සිටින ගවයින් දුරට නොපෙනීමත්, වාහන එළි දුටුවිට කැලේ සිට පාරට කඩාවදින ගවයින්  නිසා රියැදුරන්, යතුරුපැදිකරුවන් මෙලෙස නිතර අනතුරට ලක්වන බවද ගම් හිමියන් ගවයින් රාත්‍රිකාලයේ නිදැල්ලේ නොයැවූ කාලයේ මෙවැනි අනතුරු සිදු නොවූ බවද ප්‍රදේශවාසීහු කියති.


-මහින්ද අබේරත්න-