අවිවාහක කාන්තාවක්‌ තනිව ජීවත් වූ නිවසකට රාත්‍රි කාලයේ ඇතුළු වී ලිංගික අතවරයක්‌ සිදු කිරීමට උත්සාහ දරා එය අසාර්ථක වූ පසු ඇගේ කන හා උරහිස සපා කා පිහියකින් ශරීරය කපා තුවාල කළැයි කියන දෙදරු
පියකු ගල්ගමුව පොලිසිය මගින්
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් ගත කිරීමට ගල්ගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත් හිමාල් කහඳවල මහතා නියෝග කළේය.

 සැකකරු ගල්ගමුව, බේරබැදියාවේ පදිංචි අයකු වන බවත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ නාම ලේඛනයට ඇතුළත්ව සිටින අයකු බවත් පොලිසිය කීය.

 මෙකී කාන්තාව රාත්‍රි ආහාර ගෙන බල්ලාට බත්දීමට එළියට පැමිණ ඇත. එවිට සැකකරු මුහුණ ආවරණය කරගෙන විත් ඇය අල්ලාගෙන බෙල්ලට පිහියක්‌ තබා බියගන්වා නිවස තුළට  රැගෙන ගොස්‌ අතවර කිරීමට උත්සාහ දරා ඇති බව කියයි.

 කාන්තාව සැකකරු සමග පොරබදා ඇති අතර එවිට සැකකරු ඇගේ කන හා උරහිස සාපා කා පිහියකින් ශරීරයේ තැන් කිහිපයක්‌ කපා තුවාල සිදුකර ඇති බව පොලිසිය කියයි. දෙදෙනා පොර බැදීමේ දී සැකකරුගේ මුහුණ ආවරණය ගැලවී යැම නිසා කාන්තාව සැකකරු හඳුනාගෙන තිබේ.

 කාන්තාව අසල නිවසකට දිවගොස්‌ ඇති අතර ඔවුන් ඇය ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්‌ෂණ රෝහලට මාරුකර යවා තිබේ.

හූරිගස්‌වැව - ඒ. කරුණාතිලක