ඔක්තෝබර් 11 වැනි දින ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වෙන බව ප්‍රකාශිත ගැසට් නිවේදනය බලශුන්‍ය කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇල්පිටිය ප්‍රදේශයේ ඡන්දදායකයන් පිරිසක්
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (17) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි හේෂාන් නයනජිත්, මලිෂ නයනජිත් සහ මෙලන් දේවින්දු අබේවර්ධන යන මහත්වරුන් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සෝමරත්න විදානපතිරණ,
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය යන මහත්වරුන් සහ එම කොමිසමේ සාමාජිකයන් ඇතුළු පිරියක් නම් කරනු ලැබ සිටිති.

විදානපතිරණ ඇසෝසියේටඩ් නීතීඥ සාමාගම මඟින් ගොනු කර ඇති පෙළ මෙසේද සඳහන් වේ. මෙම
පෙත්සම්කරුවෝ ගාල්ල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයෝ වෙති. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට නාමයෝජනා බාරදී ඇති ඡන්ද අපේක්ෂ කයෝද වෙති.

පසුගිය අගෝස්තු 30 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට නියෝග කර ඇත. ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ලබන ඔක්තෝබර් 11 වැනිදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා  මැතිවරණය පැවැත්වෙන බව 2139/13 දරන ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ අතර මැතිවරණ කොමිසමේ  සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ඩේලිමිරර් පුවත්පතට සඳහන් කර ඇත්තේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට දින නියම කර ඇත්තේ මැතිවරණ කොමිසම රැස්වි නොමැති බවය.මේ ආකාරයට මැතිවරණය පැවැත්වීමට  දින නියම කිරීම නීතියට පටහැනි වේ.

ඒ අනුව අදාළ ගැසට් නිවේදනය බලරහිත වේ. මැතිවරණ කොමිසම විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා නම් නාමයෝජනා නොකැඳවීම මඟින්ද පෙත්සම්කරුවන්ගේ අයිතිවාසිකම් කඩ වී ඇත. තවද 2017 නාමයෝජනා පත්‍රය යටතේ මැතිවරණය පැවැත්වීමද නීතියට පටහැනි වේ.

මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද, සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසද, ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වීමට දින නියම කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද, එම ගැසට් නිවේදනය බල ශුන්‍ය කරන නියෝගයක් නිකුත් කරන ලෙසද, 2017 නාම යෝජනා සඳහා මැතිවරණය පැවැත්වීම වලක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් ඉල්ලා සිටිති.

-තිළිණි ද සිල්වා-