පාසල් ගොඩනැඟිලි පන්සියයක් එක දින විවෘත කිරීමේ වැඩසටහන යටතේ බළපිටිය ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීම නිමිත්තෙන් ඊයේ (09දා) පෙරවරුවේ පැවැති උත්සවයකදී සංඝරත්නය වෙනුවෙන්
නියමිත අසුන් පනවා නොතිබීම නිසා භික්ෂූන් වහන්සේලා උත්සවය වර්ජනය කරමින් පිටවුහ.අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් බළපිටිය වැලිතර ගුරු විද්‍යාල භූමියේ බළපිටිය ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානය ඉදි කෙරිණි.

බළපිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හා දකුණු පළාත් සභාවේ හිටපු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අසෝක ධනවංශ ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බළපිටිය ප්‍රධාන සංවිධායක, හිටපු දකුණු පළාත්
සභා මන්ත්‍රී චන්න ශ්‍රී සාලිය මැන්දිස්, බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එන්. සමන් ද සිල්වා මහතා ඇතුළු පිරිස මෙම මධ්‍යස්ථානය විවෘත කොට උත්සව සභාව පැවැත්වීමට සූදානම් වූහ.

ඒ අවස්ථාවට අමරපුර සිරි සිද්ධම්මවංස මහා නිකායේ ලේඛකාධිකාරි, බළපිටිය ප්‍රාචීන භික්ෂු විද්‍යාලයේ මහෝපාධ්‍යාය බළපිටියේ සිරි සීවලී හිමියෝ සහ අම්බලන්ගොඩ ධම්මයුක්තිකාරාමාධිපති අවිස්සාවේල්ලේ විමලසිද්ධි හිමියෝ වැඩම කළහ.

මන්ත්‍රිවරුන් වෙනුවෙන් උස් වූ ආසන ඉදිරියෙහි වෙන් කර තිබූ අතර භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ප්ලාස්ටික් පුටුවලට සුදු ඇතිරිලි දමා පසෙකට වත්තට අසුන් පනවා තිබිණි. මේ දුටු බළපිටියේ සිරි සීවලී හිමියන්, භික්ෂුන් වහන්සේලාට ගරු කරන්නට නොදන්නේ නම් මේ උත්සවවලට ආරාධනා නොකරන ලෙසත්, උත්සවයට වැඩ නොසිට ආපසු යන බවත් ප්‍රකාශ කරමින් පිටවී ගියහ.

අසෝක ධනවංශ මහතා සහ බළපිටිය ප්‍රාදේශීය මහ ලේකම් බී.පී.එස්. අනුරාධි මහත්මිය ඇතුළු පිරිස පසුපස ගොස් සමාව අයදිමින් උත්සවයට සහභාගි වන ලෙස ඉල්ලා සිටියද සිවලී හිමියන් පිටවී ගිය අතර අවිස්සාවේල්ලේ විමලසිද්ධි හිමියෝ පමණක් මඳ
වේලාවක් රැඳී සිටියහ. මේ පිළිබඳව අදහස් දැක්වූ සීවලී හිමියෝ මෙසේ කීහ.

සදාචාරය, සභ්‍යත්වය උගන්වන තැනක ගුරුවරුන්ට ඒ පිළිබඳව අවබෝධයක් නැතිවීම ගැන කනගාටු වෙනවා. රුපියල් කෝටි ගණන් වැය කරමින් ගොඩනැඟිලි හැදුවත් මානව සම්පත් ගොඩනගන්න බැරිනම් පලක් වන්නේ නැහැ. රටේ අනාගත පරපුර බිහිකරන මෙවැනි ස්ථානවලින් මීට වඩා සදාචාරය ඉගැන්විය යුතුයි.

-ඒ.සිවනෙත්ති-