මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය පිළිබඳ තොරතුරු හෙළිදරව් කළ සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහතාට බස්නාහිර  පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා තර්ජනය කර ඇතැයි එක්සත්  ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඊයේ (03දා) පැවැති පාර්ලිමේන්තු සභා වාරයේදී පැවසීය.

බුදු පිළිම කඩාදැමීමේ සිද්ධිය විමර්ශනය කිරීම් කණ්ඩායම් ප්‍රධානියා වූ මෙම සහකාර පොලිස් අධිකාරීවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් අසාද් සාලි මහතා අත්අඩංගුවට ගත යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ජයන්ත සමරවීර මහතා,

"මාවනැල්ලේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගත්තා නම්, පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වාගන්න තිබුණා. ඔවුන් අත්අඩංගුවට ගන්න දුන්නේ නැත්තේ අසාද් සාලි. නමුත් ඔහුගෙන් කටඋත්තරයක්වත් ගත්තේ නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කරන තේරීම් කාරක සභාවට ගාමිණී තෙන්නකෝන් මහතා කැදවන්න කියලා අපි කථානායකවරයාගෙන් ඉල්ලා සිටියත්, එම කැඳවීම සිදුවුණත් නැහැ.

අසාද් සාලිගේ තොරතුරු සමාජයට කිවේ ඇයිද කියලා අහලා තර්ජනය සිදුකර තියෙන්නේ. අසාද් සාලිගේ මේ දුෂ්ට උත්සාහය පිළිකුලෙන් හෙළා දකිනවා. වහාම අසාද් සාලි අත්අඩංගුවට ගන්න ඕන. එවිට වහාබිවාදී අන්තවාදී සියලු දෙනා ගැන හෙළිදරව් කරගන්න පුඵවන්. මොහු ආගිය තැන් හොයන්න ඕන. ජාත්‍යන්තර සබඳතා හොයන්න ඕන. ජාතික වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ කොහේද, ඊළඟ සැලසුම් මොනවාද කියා එවිට සොයාගන්න පුළුවන්”යනුවෙන් පවසා සිටියේය.

 - අමිත් මධුරංග