මීට සියවසකට වඩා එපිට 1913දී මුහුදු බත්ව තිබි ගොඩගෙන නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කරන ලද පෞරාණික අවරපෙත්ත (propeller) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින්
සැප්තැම්බර් 10 වන දින නිරාවරණය කරන ලදී.

1913 වර්ෂයේදී හම්බන්තොට, කුඩා රාවණ කොටුව ප්‍රදිපාගාරයට ඔබ්බේන් වූ මුහුදේදී මුහුදු බත්වූ නෞකාවකට අයත් යැයි සැලකෙන සුන්බුන් අතර තිබූ මෙම අවරපෙත්ත ගොඩ ගෙන අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව නාවික හමුදා මූලස්ථාන පිවිසුම් දොරටුව අසල ස්ථාපිත කෙරුණි.

වර්තමාන නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් හම්බන්තොට මුහුදු ප්‍රදේශයේ සිදු කළ කිමිදුම් ගවේෂණයකදී මුහුදු පතුලේ තිබු නෞකා සුන්බුන් නිරික්‍ෂණය කර ඇති අතර, එහිදී නෞකාවෙන් වෙන්ව තිබූ මෙම අවරපෙත්ත නිරික්‍ෂණය කර එහි පෞරාණික වටිනාකම හඳුනාගත් නාවික හමුදාධිපති විසින් මෙම අවරපෙත්ත පුරාවස්තු කොල්ලකරුවන්ගෙන් ආරක්‍ෂාකර ගැනීමේ අඳහසින් එය ගොඩ ගැනීම සඳහා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් යොදවා කිමිදුම් මෙහෙයුමක් සිදු කරන ලදී.

ඒ අනුව, නාවික හමුදාධිපතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ඒ 521’ යාත්‍රාව වෙත මෙම කිමිදුම් මෙහෙයුම සඳහා අනුයුක්ත කළ අතර, ඔවුන් විසින් ආරක්‍ෂිතව මෙම අවරපෙත්ත ගොඩට ගැනීමට කටයුතු කරන ලදී.

තවද, නාවික හමුදාවේ ගොඩගැනීම් මෙහෙයුම් සඳහා නම් කර ඇති ‘ඒ 521’ යාත්‍රාව සිදුකළ මෙම පළමු ගොඩගැනීමේ මෙහෙයුම සාර්ථකව සිදු කළ අතර, වෙනත් ආයතන මගින් මිට පෙර කිහිප අවස්ථාවකදී මෙම අවරපෙත්ත ගොඩගැනීමට උත්සහ කර ඇතත් එය අසාර්ථක වි ඇත. කෙසේ නමුත් නවමු තාක්‍ෂණය සහ ක්‍රමවේදයන් භාවිතා කරමින් ඉතා අසිරු කාර්තව්‍යක් වූ ඉහත ගොඩ ගැනීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට නාවික හමුදාව සමත් වූ අතර, ශ්‍රී ලංකා නාවික හමුදා කිමිදුම් ඒකකය විසින් ගොඩගත් විශාලතම අවරපෙත්ත ලෙස මෙය ඉතිහාස ගත වේ.