දිස්ත්‍රික්ක අටකට ඇති වී තිබෙන තදවැසී හා තද සුළං නිසා පවුල් 20,805කට අයත් පුද්ගලයන් 79,959 පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
දැනට තද වැසි ඇතිවන ප්‍රදේශවල වැසි තත්ත්වය හෙට (26දා) දිනයේ සිට අඩු වී යන බවත්, එහෙත් 28 වැනිදා සිට සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නිරිතදිග මෝසම් තත්ත්වය 28 වැනිදා අවසන් වී අන්තර් මෝසම් ආරම්භ වීමත් සමග සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේය. එමෙන්ම බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල අද (25දා) දිනයේදී ඇතැම් ස්ථානවලට මිලිමීටර් දෙසියයක් තරම් වූ තදවැසි ඇති විය හැකි බවද ඔහු පවසා සිටියේය.

මීට අමතරව වයඹ, මධ්‍යම පළාත්වල ඇතැමි ස්ථානවලට මිලිමීටර් 100 - 150ත් තරම් වූ තදවසි ඇතිවිය හැකි බවත්, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට තාවකාලිකව එම ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යා හැකි බවත් ඒ
මහතා කියා සිටියේය. කළුතර, ගාල්ල, රත්නපුර  සහ මාතර, කෑගල්ල දිස්ත්‍රික්කවලට තවදුරටත් වැසි ඇතිවිය හැකි නිසා එම ප්‍රදේශවල කඳු නායයම සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

නායයාම් ලක්ෂණ දුටු වහාම අදාළ ස්ථානවලින් ඉවත්වන ලෙසද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. අධීක වර්ෂාව ඇති වී තිබෙන ප්‍රදේශවල ජල මූලාශ්‍ර හා ගංගාවල ජල මට්ටම ඉහළ යෑම ගැන ජනතාව අවධානය යොමුකළ යුතු බවත්, හැකිතාක් ජල මූලාශ්‍ර හා ගංගා පරිහරණය කිරීමෙන් ඇත්වන ලෙසත් ඔහු පවසා සිටියේය.

යම් තොරතුරක්  දැනගැනීමට හෝ ලබාදීමට 117 දුරකථන අංකය භාවිත කරන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියි.  හදිසි ආපදා තත්වයකදී ඒ පිළිබඳ දැනුම්දීම සදහා පරිසර නාවික ආපදා කළමනාකරණ දිසාවේ 0112 587 229 හෝ 0112 454 576 දුරකථන අංකවලට දැනුදිය හැකි බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අයහපත් කාලගුණ තත්ත්වය නිසා ජනතාට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා පොලිස් නාවික කොට්ඨාසය සතු යාත්‍රා 50ක් සහ ඔරු 35ක් ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවලට යොමුකර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.මීට අමතරව විශේෂ පුහුණුව ලැබූ පොලිස් ජීවිතාරක්ෂක හා ආපදා සහන ඒකකයේ නිලධාරින් 50 බැගින් ගාල්ල, කළුතර, මාතර දිස්ත්‍රික්ක වෙත ක්ෂණිකව යොමු කිරීමට සුදානම් කර තිබෙන බවත්, මීට අමතරව කිමිදුම් පුහුණුව ලැබූ 50ක භට කණ්ඩායමක්ද අවශ්‍ය ස්ථාන වෙත යොමු කිරීමට සුදානම් කර තිබෙන බවද හෙතෙම කියා සිටීයේය .

අයහපත් කාලගුණිකට තත්වය නිසා ගාල්ල, කළුතර, මාතර, රත්නපුර, කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල පවුල් 378කට අයත්  පුද්ගලයන් 3,488 දෙනෙක් ආරක්ෂිත කඳවුරු 16ක රඳවා  සිටිති. නිවාස විසි දෙකකට පුර්ණ හානි සිදුව තිබෙන අතර, නිවාස දෙසිය අසූ දෙකකට අර්ධ හානි සිදුව ඇත. ඒක් පුද්ගල මරණයක් එකක් වාර්තා වී තිබෙන අතර, තුවාල වූ පුද්ගලයන් හය දෙනෙකු වාර්තා වී තිබේ.ගම්පහ දිස්ත්‍රික්කයට ඇති වී තිබෙන තද සුළං හා තදවැසි නිසා පවුල් 10,755කට අයත් පුද්ගලයන් 43,322 දෙනෙක් පීඩාවට පත්ව සිටිති. පවුල් 482කට අයත් පුද්ගලයන් 1,940ක් ආරක්ෂිත කදිවුරු 03ක රඳවා සිටිති.

කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 3165කට අයත් පුද්ගලයන් 10,984ක් පීඩාවට පත්ව සිටින අතර, පවුල් 729කට අයත් පුද්ගලයන් 2,568ක් ආරක්ෂිත ස්ථාන 15ක රඳවා තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 157කට අයත් පුද්ගලයන් 659ක් පීඩාවට පත්ව සිටිති. මාතර දිස්ත්‍රික්කයේ පවුල් 3,787කට අයත් පුද්ගලයන් 13,448ක් පීඩාවට පත්ව සිටින අතර, පවුල් 05කට අයත් පුද්ගලයන් 16 දෙනෙක් ආරක්ෂිත කදවුරක රදවා සිටිති.

ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 2,933කට අයත් පුද්ගලයන් 11,510ක් පීඩාවට පත්ව සිටින අතර, පවුල් 36කට අයත් පුද්ගලයින් 105ක් ආරක්ෂිත කඳවුරු දෙකක රඳවා සිටියි. මීට අමතරව කෑගල්ල පවුල් 7කට
අයත් පුද්ගලයන් 30ක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ ඒක් පවුලකට අයත් පුද්ගලයන් 6 දෙනෙක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

ඊයේ දිනයේදී කොළඹ, ගාල්ල, මාතර, කළුතර, ගම්පහ දිස්ත්‍රික්කවලට ඇති වූ තද වැසි නිසා මාර්ග කිහිපයක් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල විය.  ඊයේ (24දා) උදෑසන 8.30ට අවසන් වූ පැය 24ක කාලය තුළදී වැඩිම වර්ෂාපතනය වූ මිලිමීටර් 272.3 කටුනායක ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.  මීට අමතරව බද්දේගම ප්‍රදේශයට මිලිමීටර් 210.6ක්, මීගමුවට මිලීමීටර් 203.0ක්, අංගොඩ ප්‍රදේශයට මිලිමීටර් 175.4ක්, දෙහිවල ප්‍රදේශයට මිලිමීටර් 169.0ක්, කොළඹ ප්‍රදේශයට මිලිමීටර් 148.3ක්, හංවැල්ල ප්‍රදේශයට මිලිමීටර් 164.0ක්, බෙන්තොටවත්ත ප්‍රදේශයට මිලිමීටර් 155ක්, ‍කොළඹ කොටුව ප්‍රදේශයට මිලිමීටර් 148.3ක්, පාදුක්කට  මිලිමීටර් 145.2ක්, වොගන් ප්‍රදේශයට මිලිමීටර් 139.5ක්, තලංගහවත්ත ප්‍රදේශයට මිලිමීටර් 127.2ක්, බණ්ඩාරගමට මිලිමීටර් 127ක්, මතුගමට මිලිමීටර් 125ක්, ඇල්පිටිය ප්‍රදේශයට මිලිමීටර් 122ක්, හිඳව ප්‍රදේශයට මිලිමීටර් 112ක්, හිනිදුමට  මිලිමීටර් 108ක් සහ මාපලාන
ප්‍රදේශයට මිලිමීටර් 108ක  වර්ෂාපතනයක් ඇති වී තිබේ.

අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලු  පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ.එම සහන කටයුතු සදහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගන්නා ලෙසත්, නායයැමේ අවදානමේ පවතින ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමේ කටයුතු ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව කඩිනම් කරන ලෙසත් උපදෙස් දී ඇත.

එමෙන්ම පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන වැඩපිළිවළහිදී ප්‍රතිපාදන ගැටලුවක් කර නොගන්නා
ලෙසත්, ඒ සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් සිදුකරන ලෙස සහ තමා මැදිහත් වී ඒම මුදල් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ එමඟින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම් වැඩපිළිවෙළ පිළිබඳ අද (24දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබා දී තිබේ.

ඉදිරි මාස 02ක කාලය තුළ  අධික වැසි තත්ත්වය දිගින් දිගටම ඇතිවිය හැකි බව මෙහිදී සඳහන් කෙරුණු අතර පූර්ව සූදානමක් සහිතව එම තත්ත්වයක්ද මුහුණදීම සඳහා අදාළ අමාත්‍යාංශවල සහ සියලු අංශවල සම්බන්ධීකරණයෙන්  සැලසුම් සහගතව කටයුතු  කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා විසින් බලධාරීන්ට පෙන්වා දී ඇත.

ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ මෙහිදී පෙන්වා දුන්නේ පැවැති නියං තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 15ක පමණ ජනතාවට පානීය ජලය බෙදාදීමේ කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා තිබූ බවත්, එම කටයුතු අඛන්ඩව ක්‍රියාත්මක කෙරෙන බවත්ය.

ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, ජනාධිපති ලේකම්  උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශන්ත කෝට්ටේගොඩ යන  මහත්වරුන් සහ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ  හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

-ඉන්දික හේවාවිතාරණ-