නාවල පොදු සුසානභූමියේ කෙළවරක ඝන කැලෑ රොදකින් වැසී තිබුණ අක්කර භාගයක පමණ භූමි භාගයක පිහිටි බංකරයක් කෝට්ටේ මහ නගර සභාව මගින් පසුගිය සැප්තැම්බර් මස (06) වැනිදා සොයාගෙන ඇත.

මෙම බංකරය පරීක්ෂා කිරීමේදී 1942 වර්ෂයේ දෙවැනි මහා ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය හමුදාවේ වෙඩි බෙහෙත් ගබඩාවක් බව අනාවරණය වී තිබේ. එහි ගලක කොටා තිබූ අක්ෂර අනුව මේ බව හෙළිව ඇති අතර ඇතැම් ඉංග්‍රීසි අකුරු කැඩී ගොස් තිබූ බවත් අනාවරණය වී ඇත.

මෙම බංකරය සුද්ද පවිත්‍ර කොට පසුගිය 06 වැනිදා සිට පාසල්
දරුවන්ට දැකබලා ගැනීම සඳහා අවස්ථාව සලසා ඇති බව කෝට්ටේ නගරාධිපති නීතිඥ මදුර විතානගේ සඳහන් කරයි. මෙවැනි බංකරයක් දිවයිනේ කිසිම ස්ථානයක දැක ගැනීමට නොහැකි බව තමා විශ්වාස කරන බවත් නගරාධිපතිවරයා මෙහිදී සඳහන් කරන ලදී.

නගරාධිපතිවරයා සඳහන් කළේ වසර 72ක පමණ කාලයක් මෙම ස්ථානයක කැලයෙන් හා පස්වලින් වැසී තිබුණ බවය. වැසි ජලයෙන් මෙම ප්‍රදේශයට දීර්ඝ කාලයක් තිස්සේ හානි සිදුව ඇති බවද ඔහු සඳහන් කළේය. පසුගිය සඳුදා සිට මෙම ස්ථානය සුවිශේෂී භූමියක් ලෙස රටේ මහජනතාවට දැක ගැනීමට අවස්ථාව ලබාදීමට හැකිවීම පිළිබඳ තමා සතුටු වන බවත් කෝට්ටේ නගරාධිපතිවරයා පවසන්නේ තෘප්තිමත් හැඟීමකින් යුතුවය.

ටී.ඇන්. සමරජීව-කොළඹ