රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය තුළ ගීත ප්‍රචාරය වීම වෙනුවෙන් කර්තෘ භාග ලෙස නිශ්චිත මුදලකුත් ගෙවීමට අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව තුළ යෝජනා වී ඇත.

ඒ අනුව ගුවන් විදුලි මාධ්‍යයේ ගීතයක් ප්‍රචාරය වීමමේදී එක් වරකට රුපියල් 50ක් හා ටෙලිවිෂන් මාධ්‍යයේ ගීතයක් ප්‍රචාරය වීමේදී එක් වරකට රුපියල් 125ක්, කතෘභාගය වෙනුවෙන් ගෙවීමට මෙහිදී යෝජනා වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පෙරේදා (24දා)
පැවැති අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත.

මේ සම්බන්ධයෙන් වන එකඟතාව ඔක්තෝබර් මස 02 වැනි දිනට පෙර කාරක සභාවට දැනුම් දෙන ලෙස කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ශ්‍රී ලංකා විද්‍යුත් විකාශනය සංසදයට දැනුම් දී ඇත.

යෝජිත මුදල සදහා එකඟ වන්නේ නම් ඔක්තෝබර් මාසයේදී එය පාර්ලිමේන්තුව සඳහා ඉදිරිපත් කළ හැකි බව ආශු මාරසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

කර්තෘභාගය ගෙවීමේ කටයුතු ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය මගින් සම්බන්ධීකරණය කෙරන අතර, ධර්ම ප්‍රචාරක හා සාමාජීය සුභසාධන කටයුතු සඳහා යොමු වී තිබෙන නාළිකා කතෘභාගය ගෙවීමෙන් නිදහස් කරන සිලෙස ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය මෙහිදී ඉල්ලීමක් කර ඇත.

සාමූහික සංගම් සමග සාකච්ඡා කර ඒ සදහා එකඟතාවකට එළඹෙන ලෙස කාරක සභාව එම සංගමයට දැනුම් දී ඇති අතර, මාධ්‍ය ආයතනවලින් නිෂ්පාදනය කරන සියලුම ගීත කර්තෘභාගය ගෙවීමෙන් නිදහස් කරන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම කාරක සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

හැඩවීමි නාද (රිගින් ටෝන්) සඳහා ගීත භාවිත කිරීම් පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුව ඇති අතර, ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා දුරකථන සමාගම් 02ක් හා විදුලි සංදේශ නියාමන කොමිසමද කාරක සභා වෙත කැඳවා තිබේ.

අන්තර්ගත සැපයුම්කරුවන් 25ක් මගින් තම
ආයතන ගීත ලබාගන්නා බව මෙහිදී දුරකථන සමාගම් දැනුම් දී ඇති අතර, ඒ වෙනුවෙන් දුරකථන සමාගම් පාරිභෝගිකයාගෙන් අය කරගන්නා මුදලින් 10% සිට 25% දක්වා මුදලක් ඔවුන්ට ගෙවන බවද දුරකථන සමාගම් විසින් කාරක සභාවට කරුණු පැහැදිලි කර ඇත.

එලෙස ගෙවන මුදල් තමන්ට හිමි නොවන තත්තවයක් පවතින බව කලාකරුවන් කාරක සභාවේදී ප්‍රකාශ කර ඇති අතර,
අන්තර්ගත සැපයුම්කරුවන් 25 දෙනාගේ තොරතුරු කාරකසභාව වෙත කඩිනමින් ලබාදෙන්නැයි සභාපතිවරයා දුරකථන සමාගම් වෙත දැනුම් දී ඇත.

 එම අන්තර් සමාගමිද ඔක්තෝබර් මස 08 වැනිදා පවත්වන කාරක සභාවට කැදවීමට නියමිත බව අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබද පාර්ලිමේන්තු ආශික අධීක්ෂණ කාරක සභාව සදහන් කළේය.

මෙවර කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආශු මාරසිංහ, නලින්ද ජයතිස්ස, රෝහීණි කුමාරී කවිරත්න, විජේපාල හෙට්ටිආරච්චි, ලසන්ත අලගියවන්ත යන මහත්වරුන් සහභාගි වී ඇති අතර, ජාතික බුද්ධිමය දේපළ කාර්යාලය. ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංසදය, විදුලි සංදේශ නියාමන කොමිසම, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ඩයලොග් ආයතනය සහ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කාරක සභාවට සහභාගි වී ඇත.

චාමර සම්පත්