චීනයේ හදිසි ඇමතුම් ඒකකයේ අංකය වන 110 භාවිත කරමින් චීන දැරියක් උදව් ඉල්ලීම සඳහා අපුරු සංඥා ක්‍රමයක් භාවිත කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මේ දැරියව යම්කිසි ආගන්තුක පුද්ගලයකු විසින් බලහත්කාරයෙන් ගුවන්තොටුපළක් වෙත රැගෙන යන අවස්ථාවේ දී ඔහුගෙන් මිදීම සඳහා මේ ක්‍රමය භාවිත
කළ බව වාර්තා වේ. එම පුද්ගලයා විසින්
ඇයට කිසිදු ශබ්දයක් කිරීම සඳහා අවස්ථාව නොදුන් නිසා “හරි” කීම සඳහා භාවිත කරන සියුම් අත් ඉඟියක් භාවිත කරමින් 110 ට ගන්නැයි ගුවන්තොටුපළේ සිටින පිරිසට මේ බව දන්වා ඇත.

ඇයගේ මේ සංඥා ක්‍රමය වටහා ගත් ගුවන්තොටුපළ නිලධාරීන් ඇයව ඔහුගෙන් බේරාගෙන ඇයගේ දෙමාපියන් වෙත ලබා දීම සඳහා කටයුතු කර තිබේ. නමුත් , ඇය සංඥා කරන වීඩියෝව චීන සමාජ මාධ්‍යවල විශාල ප්‍රතිචාරයක් ඇති කරමින් සංසරණය වීම නිසා චීන බලධාරීන් කලබලයට පත් වී ඇත. ඒ මෙම වීඩියෝ පටය රජය මගින් කළ නිවේදනයක් ලෙස සකස් වූවක් බවට බොහෝ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් චෝදනා කිරීම නිසාය. ඔවුන් උපකල්පනය කරන්නේ එය නිර්මාණය කර ඇත්තේ පොලිසියේ සහාය ලබා ගෙන බවයි.

එයට හේතුව ලෙස සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් කියා සිටින්නේ ඇඟිලි දෙකක් එලෙස එකට තද කළහොත් චීන පොලිසියේ හදිසි ඇමතුම් අංකය වන ”110” ලෙස පෙනෙන බවයි. චීන බලධාරීන් ප්‍රකාශ කර සිටියේ ”කිසි විටෙකත් එවැනි අනතුරු ඇඟවීමේ ක්‍රමයක් ප්‍රසිද්ධියේ ප්‍රචාරය කර හෝ ප්‍රවර්ධනය කර නැත” යනුවෙනි.

හර්ෂණී දිසානායක