පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබෙන ලැප්ටොප් පරිගණක ඉවත් කර ගන්නා මෙන් ඉල්ලා සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා  ඊයේ (31දා) පැවසීය. මෙම ලැප්ටොප්
පරිගණක මන්ත්‍රීවරුන්ට පගාවක් ලෙස ලබාදී ඇතැයි හිටපු අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මහතා මාධ්‍ය හමුවකදී ප්‍රකාශයක් සිදුකර තිබීම හේතුවෙන් සියලු  මන්ත්‍රීවරුන් සම්බන්ධව ජනතාවට වැරදි අදහසක් ලැබී තිබන බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.

එහිදී අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස්
සන්ධාන මන්ත්‍රී විමල් විරවශ  සඳහන් කළේ, මෙම ලැප්ටොප් පරිගණක බොහෝ මන්ත්‍රීවරුන් පරිහරණය නොකරන බවයි.

 එසේම පාර්ලිමේන්තුව විසින් ලබාදුන් රහස්‍ය අංකයක් යටතේ මෙම පරිගණක විවෘත කිරීමට තිබෙන බැවින් බොහෝ මන්ත්‍රීවරුන් එය ප්‍රයෝජනයට නොගන්නා බවත් තමන්ගේ මේසය මත එවැනි ලැප්ටොප් පරීගණයක් තිබුණද මේ දක්වා එය විවෘත කර නොමැති බවත් විමල් වීරවංශ  ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලංසා  පවසා සිටීයේ,

"මේ රටේ තියන දුෂිතම ආයතනය පාර්ලිමේන්තුව කියලා මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම ලැප්ටොප් දීලා තියෙන්නේ පගාවක්, අල්ලසක් විදියට කියලා ඔහු කියනවා. මේක පාර්ලිමේන්තුවෙන් සැපයෙව්වද. අල්ලසක් හෝ පගාවක් විදියට සැපෙව්වද කියලා අපි දන්නෑ.

ඒ නිසා මෙම ලැප්ටොප් පරීගණක පගාවට හෝ අල්ලසට ලබාදී තිබේ නම් අයින් කරන ලෙස මූලාසනයෙන් ඉල්ලා සිටිනවා" යනුවෙනි.

-අමින් මධුරංග-