බස්නාහිර පළාත් පාසල්වල 11 වන ශ්‍රේණියේ දෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍ර 6ක් විභාගයට පෙර දින වට්ස්අප් සමාජ ජාල, හරහා නිකුත් වී ඇති බව වාර්තා වේ.

සෞඛ්‍යය, සංගීතය, නර්තනය, ඉතිහාසය, සිංහල සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට අදාළ 11 වැනි ශ්‍රේණියට අදාළ දෙවන වාර පරීක්ෂණයේ ප්‍රශ්න පත්‍ර මෙලෙස පිටවී ඇති බව වාර්තා වේ. කිසියම් පුද්ගලයෙකු
විසින් අදාළ ප්‍රශ්න පත්‍රයන්
ඡායාරූප ගතකර වට්ස්අප් සමාජ ජාලා මාධ්‍ය හරහා පාසල් සිසුන් වෙත බෙදා හැර තිබේ. මේ හේතුවෙන් බස්නාහිර පළාතේ බොහෝ පාසල්වල ඉහත සඳහන් විෂයන්ට අදාළව වෙනත් ප්‍රශ්න පත්‍රයන් ලබා දී ඇති බව අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් ඊයේ (1) බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පී. ශ්‍රීලාල් නෝනිස් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ පිළිබඳව මේ වනවිටත් දෙමාපියන් ඇතුළු පාර්ශ්වයන් කිහිපයගෙන් පැමිණිලි ලැබුණු බවත් අද (2) දිනයේ මේ සම්බන්ධයෙන් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරු කැඳවා පරීක්ෂණයක් පවත්වා ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කරන බවයි.

මේ ගැන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතාගේ කළ විමසීමකදී ඔහු කියා සිටියේ බස්නාහිර පළාතේ දෙවන වාර පරීක්ෂණයට අදාළ ප්‍රශ්න පත්‍ර පමණක් නොව උත්තර පත්‍රද කිසියම් පුද්ගලයෙකු විසින් වට්ස්අප් ඇතුළු විවිධ සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ සමාජ ගත කර ඇති බවයි. එසේම පාසල්වල ගුණාත්මක යෙදවුම් සඳහා වෙන්කර ඇති මුදල් නිසි පරිදි භාවිත නොකර පළාත් අධ්‍යක්ෂවරු, ගුරු උපදේශකවරු වගකීම පැහැර හැර ඇති බවත් අධ්‍යාපනය ගුණාත්මකව ඉහළ දැමීම වෙනුවට ප්‍රශ්න පත්‍ර සීඩී මඟින් නිකුත් කිරීම මෙම ව්‍යාකූල තත්ත්වයට හේතුව වී ඇති බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය .

[දිනුක මලින්ද හේරත්]