දඹානේ ආදිවාසීන් විසින් නිපදවන ඖෂධ බවට ප්‍රචාරය කරමින් සතිපොළවල සහ විවිධ නගරවල තෙල් බෙහෙත් වර්ග අලෙවි කරන ව්‍යාජ වෙළෙඳුන් නිසා තම කීර්තිනාමයට බලවත් හානියක් සිදුව ඇතැයි ආදිවාසී
නායක දේශීය වෛද්‍ය වනපති

ඌවරුවරිගේ වන්නිලැත්තෝ පවසයි.මෙම කූට ජාවාරම සඳහා කුඩා වෑන්  රථ සහ ශබ්දවාහිනී යන්ත්‍රද උපයෝගී කරගන්නා බවත් මේ පිළිබඳව කිහිප වතාවක්ම පොලීසියට පැමිණිලි කළද මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද වන්නිලැත්තෝ අවධාරණය කළේය.

තමා කැලේ කොලේ ගස් වැල්වල  මුල්, පොතු, ගෙඩි හා මල් උපයෝගී කරගනිමින් පාරම්පරිකව පැවැත එන වෙද දැනුමට අනුව විවිධ ආබාධ හා රෝග සඳහා නිපදවන තෙල් වර්ග, ගුලි හා කල්ක දඹානට පැමිණෙන අය  තමාගෙන් මිලදී ගන්නා අතර ඒවා  අත්දුටුවෝ නැවත පැමිණ ප්‍රශංසා
කරන බවත් සඳහන් කළේය.

දඹානේ ආදිවාසීන් නිපදවන තෙල් බේත් වර්ග යැයි පවසමින් විවිධ  ප්‍රදේශවල තෙල් බෙහෙත් විකුණන අය සිටින බව දඹානට පැමිණෙන ජනතාව තමා සමග පැවසූ බවත්, කුට ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසත් තමාගේ තෙල් බෙහෙත් හා ඖෂධ වර්ග මිලදී ගත හැක්කේ දඹානේ පිහිටි තම පැල්පතෙන් පමණක් බවද හෙතෙම  අවධාරණය කළේය.

-පාලිත ආරියවංශ-