ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් කළ ජනාධිපති අපේක්ෂකයා රාජපක්ෂ කඳවුරෙන් ඉදිරිපත් කළ ඉතාමත් දුර්වලම පුද්ගලයෙකු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. ජනාධිපති අපේක්ෂකයාට මූල්‍ය විනයක් නොමැති බවත්, මීට අමතරව පරිපාලන විනයද නොමැති බවත්, මේ අනුව රාජපක්ෂ කඳවුරෙන් මෙතෙක්
ඉදිරිපත් කළ දුර්වලම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා වන අතර, ඔහුට රට වෙනස් කළ නොහැකි බවත් එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සදහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස පෙරේදා(11) දිනයේ නම් කළද එය අලුත් දෙයක් නොවන බවත්, වසරකට
අධික කාලයක සිට එම නම යෝජනා වී තිබූ බවත් ඔහු කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික  ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා මේ මස 18 වැනිදා නම් කරන බවත්, අදාළ  අපේක්ෂකයා ජාතික ජන බලවේගය නියෝජනය කරන දේශපාලන පක්ෂ හා සංවිධාන විසින් සාකච්ඡා කර තීරණය කරන්න බවත් ඒ මහතා සඳහන් කළේය.

වසර 70ක් පුරා මෙරට මහා ණය උගුලක සිර කළ පාලනයක් වෙනුවට රට හැදීමේ විකල්ප බලය ගොඩනගන බවත්, ඒම අභියෝගය භාරගැනීමට ජනතා විමුක්ති  පෙරමුණ සුදානම් බවත් හෙතෙම කියා සිටියේය.

ඊයේ (12දා) පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා වැඩිදුරටත් සදහන් කළේ, පරණ හොරු සහ අලුත් හොරු දෙගොල්ලන්ම පරාජයට පත්කර රට හැදීමට හැකි රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි විකල්ප බලයක් ගොඩනගන බවත්, ඒ සඳහා ජනතාව පෙළගැසිය යුතු බවත්ය.

රට තුළ පිරිසිදු නායකයන් ගොඩනැගීම සදහා මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන් විසින් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙන බවත්, ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා එම නිර්ණායකවට අනුකූල වන අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවත් හෙතෙම පවසා සිටියේය.

අයි.එච් තුෂාර