පුද්ගලික ඉඩමක මළසිරුරක් මිහිදන් නොකරන්නැයි ලබාදුන් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක කිරීමට ගිය තෙබුවන පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරම ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් හේමමාලි හාල්පන්දෙනිය මහත්මිය නියම කළාය.

අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීමට හා පොලිස් නිලධාරීන් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයියන් තෙබුවන පොලිස් ස්ථානාධිපති
යූ.අරුලානන්දන් මහතා දිර්ඝ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර, සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස නියම කළ විනිසුරුවරිය වැඩිදුර වාර්තාවක් ඔක්තෝබර් මස 15 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළාය.

තෙබුවන ට්‍රොවුඩ් වතුයායේ මළසිරුරක් මිහිදන් කිරීමට එරහිව අධිකරණයන් තහනම් නිලියෝග ලබාදී තිබියදී පොලිස් නිලධාරීන්ට බැණ වැදී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා ඇතුළු පිරිසක් පසුගියදා (19දා) මළසිරුර එම වතුයායේ මිහිදන් කිරීමට කටයුතු කර තිබේ.  විදේශගතව සිටින එම වතුයායේ හිමිකරු එහි මළසිරුර මිහිදන් කිරීමට අකමැත්ත ප්‍රකාශ කර තිබූ හෙයින් අධිකරණ නියෝග ලබා ගත් බව තෙඹුවන පොලීසිය නියෝජ්‍ය අමාත්‍යවරයාට පැවසූවද ඔහු  එම නියෝගය එරෙහිව කටයුතු කර තිබෙන බව පොලීසියට අධිකරණයට කරුණු දක්වා සිටියේය.

එහිදී පොලීසිය හා සැකකාර නියෝජ්‍ය අමාත්‍යවරයා අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවූ බව පොලීසිය වැඩිදුරටත් අධිකරණයට දැන්වීය.

-සුනිල් එස්.තන්ත්‍රිආරච්චි-