කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා මාසික කුලී පදනම මත ලබා ගත්  බත්තරමුල්ල ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ල අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ලබා ගත් එකක් යැයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඊයේ (20) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය.

එසේම එම ගොඩනැගිල්ල සඳහා නීතිපතිගේ අනුමැතිය ලබා දී ඇති බවට එවකට එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වාචිකව තමන්ට පැවසූයේ යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් කීය.
 කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 24 .6 ක මාසික කුලියට බත්තරමුල්ල පිහිටි සිනමා
නිළි සබීතා පෙරේරාගේ සැමියාට අයත් ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට රැගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇතැයි කියමින් එම ජනාධිපති කොමිසම හමුවේ ගොනු කළ පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්කි ලබා දෙමින් හෙතෙම මේ බව පැවසීය.

හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සාක්කි දෙමින් කියා සිටියේ පාර්ලිමේන්තු කාරක සභා ගොවිජන මන්දිරයට රැගෙන ඒමට පාර්ලිමේන්තුව ගත් හදිසි තීරණය හේතුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය මාරු කිරීමේ තීරණය ක්ෂණිකව ක්‍රියාත්මක වූ බවය.
ඒ අනුව ප්‍රමාණවත් ඉඩකඩක් පැවති බත්තරමුල් ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ලට කෘෂිකර්ම අමාත්‍යාංශය රැගෙන ගිය බවත් , නව ගෙඩනැගිල්ලේ වැඩකිරීමේ දුෂ්කරතාවයන් සම්බන්ධයෙන් එවකට අමාත්‍යධූරය හෙබවූ කාලය තුළ තමාට කිසිඳු පැමිණිල්ලක් නොලැබූ බවද  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කීය.
කෙසේ නමුත් මේ වන තුරුත් පාර්ලිමේන්තු කාරක සභා ගොවිජන මන්දිරයට නැවත ස්ථානගත කිරීමට කටයුතු කර නැතැයිද ඔහු කොමිසම හමුවේ පැවසීය.

එම සාක්කි ලබා දුන් අවස්ථාවේදී සාක්කිකාර දුමින්ද දිසානායක මහතා ඇමතූ ජනාධිපති කොමිසමේ සභාපති , හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා  කියා සිටියේ මෙම ගෙඩනැගිල්ල සම්බන්ධයෙන් බොහෝ චෝදනා සාක්කිකරුට එල්ල වී ඇති බවත් , එම චෝදනා වලින් මිඳීමට නම් නීතිපති අනුමැතිය ලබා දුන් ලිපිය මීළඟ දිනට ඉදිරිපත් කළ යුතු බවට දැනුම් දෙන ලදී.
ඒ අනුව මෙම පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය ලබන 29 වැනිදාට කල් තැබූ අතර එදිනට කොමිසම හමුවේ යළි පෙනී සිටින ලෙසට හිටපු අමාත්‍යවරයාට නියෝග කරන ලදී.