මේ රජය කුමන සංවර්ධන කතා  පැවසුවද අද මේ රටේ ජනතාවට එදිනෙදා ජීවත්වීමටවත් නොහැකි තත්වයක් උදාවී තිබෙන බවත්, කඩේට, පොළට ගොස් එදිනෙදාට අවැසි භාණ්ඩ ගැනීමේදී ඔවුන්ට
දෙවරක් සිතීමට සිදුවී තිබෙන බවත් හිටපු ජනාධිපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ  පැවසීය.

හෙතෙම මේ බව පැවසුයේ මොරටුව මහ නගර සභාවේ කාර්යාලයීය සංකීර්ණය විවෘත කිරීම, ස්වර්ණ පළස ඔප්පු ප්‍රදානය, මහනගර සභා වෙබ් අඩවිය ජනගත කිරීම හා කාර්යමණඩල ඇගයීම වෙනුවෙන්,
මොරටුව මහ නගර සභා භූමියේදී පසුගියදා (07) සංවිධානය කර තිබූ උත්සව සභාවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"ආණ්ඩුවේ සියලු දෙනාගේ වරදින් පාස්කු ප්‍රහාරය සිදුවී ඇති බවට, ඒ සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ, අගමැතිවරයා සාක්ෂි දෙමින් වරද පිළිගෙන ඇති නිසා, රජය දැන් කළ යුත්තේ ස්වාධීන කොමිෂන් සභාවක් පත්කොට ඊට සම්බන්ධ වරදකරුවන් වහාම රටට හෙළි කිරීමයි.

තිස් වසරක් පුරා පැවැති යුද්ධය නිමා කරලා, රට සංවර්ධනය කරලා, ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් ගොඩනගමින් සිටියදී තමයි එන්.ජී.ඕ. නඩ ජාතයන්තර බලවේගයත් සමග එකතු වෙලා මේරට උදුර ගත්තේ. ඒත් අගමැතිවරයා නම් කියන්නේ බංකොලොත් වුණු කබල් ආර්ථිකයක් භාර ගත්තා කියලා. එතුමට මම කියනවා පම්පෝරි ගගහ ඉන්නෙ නැතිව මහ  බැංකු වාර්තා පරීක්ෂා කර බලන්න.

 අපේ කාලේ විරැකියාව අඩු වුණාද මේ  කාල් අඩු වුනාද වැඩි වුනාද කියලා.  ආර්ථිකය ගොඩනගන විරැකියාව අඩු කරන මේ රජය පියවර  නොගෙන කතාවෙන් පමණක් ජනතාව රවට්ටන්න පුරුදු වෙලා තියෙනවා.
හැබැයි මේ අයට අමතක වෙලා තියෙනවා පෙරට වඩා අද මේ රටේ ජනතාව බුද්ධිමත් කියලා.  මෙවන් තත්වයක් මත සුපිරී ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරනවා. ඒත් පළාත් සභා විසුරවලා තාම මැතිවරණ කැඳවලා නෑ.

 ඒත් ජනාධිපතිවරණයක් ගැන කතා කරනවා. ඒත් රජය මැතිවරණවලට බයයි. මොකද  ඉකුත් පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල  දැන්කාම මැතිවරණයන් කැමැත්තෙන් දුන්නේ නැහැ. ඒක අපි උදුරගත්ත මැතිවරණයක්. ඒක අපි දිනුවා. අපි මැතිවරණවලට බය නැහැ. මොකද අපි යුද්ධය දිනා රට සංවර්ධනය කරලා පෙන්නුව නිසා.  ඒ රටේ හැම අංශයක්ම අද බංකොලොත් වෙලා. අධ්‍යාපනය, සෞඛ්‍ය ඉතා පහත් මට්ටමකයි තියෙන්නේ. සෞඛ්‍ය අංශය දැඩි පරිහානියකට ලක්වෙලා. මේ අමාත්‍යංශයට තරම්  චෝදනා එල්ල වූ තවත් අමාතයංශයක් නැතිතරම්, මේ අතරේදී එ.ජාපය ඇතුළේ ජනාධිපති අපේක්ෂකයා තෝරන්න ලොකු සටනක් ආරම්භ වෙලා තියනවා. මමත් එනවා. මමත් එනවා කියලා රට පුරා පෝස්ටර් ගහලා  කවුද මේවා කරන්නේ, මේවා කරන්න සල්ලි කොහින්ද, මේවට මේ රටේ  අහිංසක ජනතාවගේ බදු මුදල් තමයි වැය කරන්නේ, විශාල ලෙස පෝස්ටර් ගහන්නත් පත්තරවල දැන්වීම් දාන්නත් වැය කරනවා. මේක මහා අපරාධයක්. ඒනිසා නැවත වරක් මේ රටේ වෙනසක් ඇති කළ යුතුයි."
යැයි පැවසීය.

- ශාන්න ප්‍රදීප් කුමාර කුලරත්න-