සැත්කමක් සිදුකිරීමට මුදල් ආධාර සොයමින් ගෙයිත් ගෙට යමින් සිටි රෝගී කාන්තාවක් රවටා ඇය හෝටලයකට රැගෙන ගොස් ලිංගික අතවර කර පලාගිය බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට කඩවත පොලිසිය පුළුල් පරික්ෂණ පවත්වාගෙන යයි.
හෝටලයකට රැගෙන ගිය මෙම කාන්තාවට මත් පෙති කලවම් කළ බව කියන බීම බෝතලයක් පානය කිරීමට සලස්වා ඇයට සිහිය නැතිව ගිය පසුව මෙසේ ලිංගික අතවර කර තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
සිහි නොමැතිව හෝටල් කාමරයේ ඇඳක් මත සිටි කාන්තාව පිළිබඳව පොලිසියට දැනුම් දී හෝටල්
සේවකයෙක් ඇය ගම්පහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
සැත්කමක් සිදු කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කිරීමෙන් පසුව එම සැත්කම සඳහා මුදල්
නොමැතිකමින් ගෙයින් ගෙට ගොස් මුදල් සෙවීමේ නිරතව සිටි බව කියන මෙම 58 හැවිරිදි කාන්තාවට බස් රථයකදී පුද්ගලයකු මුණගැසී ඔහු සමග කතා බහ කර ඇති බව පැවසේ. සැත්කම සඳහා මුදලින් යම් ආධාරයක් කිරීමට හැකි බව පවසා ඇය රවටා කඩවත ප්‍රදේශයේ පිහිටි
හෝටලයකට කැඳවාගෙන ගොස් ඇති බවද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. පැමිණිලිකාර කාන්තාවද ඔහුගේ කීමට රැවටී හෝටලයට ගොස් ඇති බව කියති. මත් පෙති වර්ගයක් කලවම් කළ බව කියන බීම බෝතලයක් පානය කිරීමට සලස්වා පසුව ඇය හෝටලයේ කාමරයකට රැගෙන ගොස් ලිංගික අතවර කර තිබෙන බව පොලිසිය කියයි.
හෝටලයට දී ලිපිනයට අනුව සැකකරු මාතලේ උකුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තවම අත්අඩංගුවට ගෙන නැත.
කඩවත පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)