අවිස්සාවේල්ල, ගිනිගත්හේන, හැටන් ප්‍රධාන මාර්ගයේ යටියන්තොට - ගොමාඩුව ප්‍රදේශයේදී ඊයේ (06දා) පෙරවරු  5.30ට පමණ යතුරුපැදියක ගමන්ගත් අලුත කසාද බැඳපු යුවළක් ලුහුබැඳ වෑන් රථයකට
බලහත්කාරයෙන් නංවා ගෙන

යමින් සිටියදි ඉදිරියේ පාලම අසල පොලිස් මාර්ග බාධකය දැක යළි ආපස්සට හරවා දෙහිඕවිට පනාවල මාර්ගයේ ඇහැලියගොඩ පොලිස් වසමේ පනාවල පාළු ප්‍රදේශයකදී ගෙල බැඳි රන්මාල දෙක කොල්ලකා ඔවුන් මහ දමා පලාගොස් ඇතැයි යටියන්තොට පොලිසිය පවසයි.

මේ මංකොල්ලය සඳහා තිදෙනකු වෑන් රථයේ පැමිණ ඇත. අනතුරුව ඔවුන් පාරට බස්සා ගම්බිම් බලා යෑමට යුවළට රුපියල් දාහක මුදල් නෝට්ටුවක්ද දී ඇතැයි පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ. රුපියල් ලක්ෂ 1 1/2ක් පමණ වටිනාකම ඇති රත්රන් මාල හා වළලු මෙසේ පැහැරගෙන ඇත. ඔවුන්ගේ යතුරුපැදිය පොලිසිය භාරයට ගෙන ඇත. සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

සැකකරුවන් දුටුවොත් හඳුනාගත හැකි බව මේ සිද්ධියට මුහුණදුන් යුවළ පවසති. යටියන්තොට පොලිස් ස්ථානාධිපති  පොලිස් පරීක්ෂක එච්.ජී.එස්.ටී.කේ. චන්ද්‍රසිරි මහතා ඇතුළු අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වති.

-මුදලිගේ තිලකරත්න-