සුප්‍රසිද්ධ ඩිස්නි සමාගම බහමාස් දූපත් ආශ්‍රිතව පිහිටි තවත් දූපතක් මිලදී ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව, මේ දක්වා ඔවුන් බහමාස්හි පිහිටි පෞද්ගලික දූපත් දෙකක් මිලදී ගැනීමට කටයුතු යොදා තිබේ. සිය නවතම විනෝදාත්මක කලාපය එහි පිහිටුවීම සඳහා සමාගම මෙම මිලදී ගැනීම සිදු කරන්නට ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
විශේෂයෙන්ම, දැනටමත් මෙම කලාපය තුළ ක්‍රියාත්මක ඩිස්නි සමාගමේ සුඛෝපභෝගී මගී නෞකා යාත්‍රා ඇණියේ (Disney Cruise Line) වඩාත් ප්‍රකට ගමනාන්තයක් ලෙස මෙම කැරිබියානු දුපත් කලාපය ප්‍රකටව තිබීම ඊට හේතුවයි. දැනටමත් මෙම අණිය සතුව සුඛෝපභෝගී නෞකා පහක් පවතී.

සමාගම පවසන ආකාරයට ඔවුන් බහමාස්හි සිටින දේශීය කලාකරුවන් සහ සංස්කෘතික විශේෂඥයන් සමගින් එක්ව මෙම දූපත විනෝදාත්මක කලාපයක් ලෙස ඉදිකිරීමට සැලසුම් කර ඇත. එහිදී එය සාම්ප්‍රදායික 'කැරිබියානු සංගීතය, කලාව සහ ආහාර" මූලික කරගත් කලාපයක් වනු ඇතැයි පැවසෙයි. එසේම දැනටමත් ඩිස්නි සංරක්ෂණ අරමුදල මගින් පවත්වාගෙන යන පරිසර සංරක්ෂණ කටයුතුද මෙම දූපත ආශ්‍රිතව සිදු කිරීමත් සැලසුම වී තිබේ.

වසර 2020 දී මෙම විනෝද කලාපයේ ඉදිකිරීම ඇරඹීමට නියමිතව ඇත. එය වසර 2020දී හෝ 2023 දී අවසන් කිරීම අපේක්ෂාව වී තිබේ. විශේෂයියන්ම බහමාස් රජයේ පාරිසරික පරික්ෂණ සහතිකය හිමිවීමෙන් අනතුරුව මෙම කටයුතු ආරම්භ කරන බව ඩිස්නි සමාගම සඳහන් කරයි. එහිදී ඉදිකරන ගොඩනැගිලි අතරින් 20%කට වඩා වැඩි ප්‍රමාණයක් තිරසාර ගොඩනැගිලි ඉදිකිරීමේ ක්‍රමවේද අනුගමනය කරමින් සිදුකරන බවත් සමාගම පවසා තිබේ.