එදා කොටි සංවිධානය මේ රටේ විවිධ තැන්වල විවිධ ආකාරයේ විනාශයන් කරන්නට මාන බලාගෙන සිටි නිසා විදේශ ක්‍රිකට් කණ්ඩායමක්වත් ලංකාවට එන්නට බිය වූ බව
ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයකු වන හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි තිලකරත්න පැවසුවාය.

මෙම ත්‍රස්ත බිය හරියාකාරයෙන් තේරුම්ගත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අපට රටක් ඉතුරු කර දෙන්නට කටයුතු කළත්, අද වනවිට නැවතත් රට අරාජික තත්ත්වයට පත්වී ඇතැයිද කී ඇය දැන් මේ කනගාටුදායක තත්ත්වයෙන් රට මුදා ගැනීමට හොඳම අවස්ථාව පැමිණ ඇතැයිද කීවාය.

මෙම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට නම් මේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂට හා ගෝඨාභය රාජපක්ෂ දෙදෙනාට රටේ සියලුම දෙනා ශක්තිය ලබාදිය යුතුයි. නැතිනම් රට කොතැනට වැටෙයිද කියන්න බැහැ’ යැයිද ඇය කීවාය. අප්සාරි තිලකරත්න මෙසේ ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණු අපේක්ෂකයා දිනවීම වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ සංවිධානය කර තිබූ රැස්වීමක් අමතමිනි.

ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න හා අප්සාරි තිලකරත්න යුවළද සහභාගි වූ මෙම රැස්වීමේදී තවදුරටත් අදහස් දැක්වූ ඇය,
ඇත්තටම එදා මමත් බයෙන් හිටියේ. මගේ සැමියා ක්‍රිකට් තරගවලට සහභාගි වෙන්න යනවිට කොටි ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මොන වගේ විනාශයක් කරයිද කියලා. එමෙන්ම එදා අපිත් රාජකාරියට යන විට නැවත ගෙදර එන්න වේවිදා යන්න බියෙන් තමයි හිටියේ. අපි දන්නවා එදා වැඩියෙන්ම දුක් වින්දේ කාන්තාවෝ. අදටත් එහෙමයි. රණවිරු බිරින්ඳෑවරු, දෙමාපියන්,සහෝදර සහෝදරියන් කොතෙක් නම් දුක් විඳිනවද, ඒ කොටි ත්‍රස්තවාදීන් කළ ක්‍රියාවන් නිසා. එදා මේ භයානක තත්ත්වය හොඳින් තේරුම්ගත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යුද්ධයට නියම නායකත්වය දුන්නා. යුද්ධය ජයගත් ඔහු අපේ දරුවන්ට, අපට, රටක් ඉතුරුකර දුන්නා යැයිද ඇය තවදුරටත් පැවසුවාය.

කොහොම වුණත් යුද්ධයෙන් පස්සේ රටේ සිදුවුණු සංවර්ධනය දැකලා අපි සතුටු වුණා. නමුත් ඒක වුණේ ඉතාම ටික කාලයයි. අපේ සමහර නායකයන් ජනතාවට දැවැන්ත බොරු කියලා ජනතාව නොමග යවල, ඒ අභීත නායකත්වය පරාජය කළා.

මේ රටට ඇහැ ගහගෙන ඉන්න විදේශිකයන්ගේ බහට යටවෙලා රට විනාශ කරන්න ශ්‍රී ලංකාව ඔවුන්ට ඩැහැගන්න පුළුවන් විදියට කටයුතු කළා, විවිධ මඩ ගහලා. ඉතින් මගේ රට, අපේ රට බේරගන්න තිබෙන අවසාන අවස්ථාවයි මේ. මේ අවස්ථාව මගහැරියහොත් අපට අනාගතයක්, රටක් තිබේවි යැයි කියලා නම් හිතන්න එපා. ඒ නිසා සියලුම දෙනා ජාති කුලමල ආගම් බේද ඉවත දමා එකට එක්විය යුතු කාලය ඇවිත් තියෙනවා’ යැයිද ඇය කීවාය.

සුනිල් ජී. මැටරඹ - හිනිදුම