නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. එම්. හිස්බුල්ලා මහතාට අයත් බව කියන 'බැටික්ලෝ කැම්පස් පුද්ගලික සමාගම' මගින් මඩකළපුව ප්‍රදේශයේ පුනානි ප්‍රදේශයේ ඉදිකරමින් පවතින විශ්වවිද්‍යාලය
වෙනුවෙන් මෙරට රාජ්‍ය බැංකුවක ආරම්හ කර ඇති එක් ගිණුමකට විදෙස් රටවලින් රුපියල් බිලියන 4කට අධික මුදලක් බැරවී ඇති බවත් මේ වන විට එම ගිණුම් ඉතිරි වී ඇත්තේ රුපියල් 36,000 ක මුදලක් පමණක් බවත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාස් ලංකා ජයරත්න මෙනෙවියට ඊයේ (26) දැනුම් දුන්නේය.

2016 ජනවාරි මස 14 වැනි දින සිට 2019 මැයි මස 31 දක්වා කාලසීමාවේදී අවස්ථා 206 කදී එම ගිණුමට රුපියල් කෝටි 444ක මුදලක් බැරවී ඇති බවද එම මුදලින් අවස්ථා 825කදි මුදල් ඉවත් කර ගෙන ඇති අතර මේ වන විට එම ගිණුමේ ශේෂය රුපියල් 36,298.47-ක් බවද එම කොට්ඨාසය අධිකරණයට වැඩිදුරටත් දැන්වීය.මෙම ගිණුමට බැරවී ඇති මුදල් අතුරින් රුපියල් කෝටි 364ක් අවස්ථා හතරකදී සවුදි අරාබියේ ඉන්හෙරිටන්ස් අලි අබ්දුල්ලා  අල්ජුෆාලි ජෙඩා නැමැති ආයතනය විසින් බැරකර ඇතැයි ද මෙම ගිණුමට අදාළ මුදල් ලැබිම සිදුවී ඇති ආකාරය සහ එම මුදල් වියදම් කර ඇති ආකාරය ගැන වැඩිදුරටත් විමර්ශනය කරමින් පවතින බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිය බී වාර්තාව මහින් අධිකරණයට කරුණු සඳහන් කළේය.

සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන වාර්තා අධිකරණය 
වෙත ඉදිරිපත් කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මහේස්ත්‍රාත්වරිය වෙත මෙම කරුණු ඉදිරිපත් කළේය. අධිකරණයෙන් ලබාගත් නියෝග ප්‍රකාර "බැටික්ලෝ කැම්පස්  පුද්ගලික සමාගම" නමින් කොල්ලුපිටිය ලංකා බැංකුවේ අධිශ්‍රේණි ශාඛාවේ අංක 78445137 දරන ගිණුමට අදාළ ගිණුම් ප්‍රකාශ හරහා බැරපත් චෙක්පත් මැන්ඩේට් පත්‍ර අත්සන් කාඩ්පත් ගනුදෙනු කිරීමට බලය පවරා ඇති පුද්ගලයින් සම්බන්ධ තොරතුරු ලබාගත් බවත්, එම තොරතුරු පරික්ෂා කිරිමේදී ඉකුත් 2016 ජනවාරි මස 04 වන දින එම සමාගම විසින් ශ්‍රී ලංකා රුපියල් මගින් ගනුදෙනු කළ හැකි ජංගම ගිණුමක් ආරම්භ කර ඇති බවත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තනා කර ඇත.  ඒ අනුව එම ගිණුම ආරම්භ කිරිම සඳහා එහි සභාපති මොහොමඩ් ලෙබ්බේ අලි මොහොමඩ් හිස්බුල්ලා යන අය එහි අධ්‍යක්ෂවරයා‍ වන හිරජ් හිස්බුල්ලා යන අයකු සම්බන්ධ වී ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කියා සිටියේය.

‘බැරිකලෝ කැමිපස් පුද්ගලික සමාගම' නමින් මඩකළපුව පුනානි ප්‍රදේශයේ ඉදිකරමින් පවතින විශ්වවිද්‍යාලය සඳහා එම ඉඩම බදු පදනම මත ලබාදි ඇල්ලත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් බවත්, එම බදු ගිවිසුම 2013 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි 2018 වර්ෂයේ දී අත්සන් තබා ඇත්තේ ජනාධිපතීවරයා බවත් මුල්‍ය අපරාධ විමර්ශන කොටිඨාසය අධිකරණයට වැඩිදුරටත් දක්වා සිටියේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මඩකලපුවේ පුනානී ජයන්තියාය ග්‍රාමයේ පිහිටි අක්කර 35ක පමණ ඉඩමක් අංක 10/18, ලේක් ඩ්‍රයිව්, කොළඹ 08 ලිපිනයේ පවත්වාගෙන යන ශ්‍රී ලංකා හීරා පදනම වෙත බැහැරකර, පසුව එම ඉඩම බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත බැහැර කර ඇති ආකාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරිමේදී මෙම කරුණු අනාවරණය වී ඇති බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ අනුව මෙම ඉඩම බැහැර කිරීමට සම්බන්ධ වි ඇති පාර්ශකරුවන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ (මහවැලි කලාපයේ) නේවාසික ව්‍යාපාර කළමනාකාර සමස්ත තුෂාර දන්තනාරායන, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ (ඉඩම්) දික්වැල්ල ආරච්චිගේ අසන්ත උදයකුමාර ගුණසේකර, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අධ්‍යක්ෂ
(ව්‍යපෘති සංවර්ධන) දිවිතොටවෙල කෝනාර හේරත් වාසල මුදියන්සේගේ වසන්ති රම්‍යලතා සෙනවිරත්න යන අයගෙන්ද ප්‍රකාශ සටහන් කර ගත් බවත් එම ප්‍රකාශවලින් ඉහත කරුණු අනාවරණය වන බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොපිඨාසය වැඩිදුරටත් අධිකරණ්යට කරුණු ඉදිරිපත් කළේය.

මෙම ශ්‍රී ලංකා හීරා පදනමේ ලියාපදිංචිය සම්බන්ධයෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් පරික්ෂා කරන ලද අතර, එම ලියාපදිංචිය සම්බන්ධයෙන් වූ මුල් අයැදුම්පත්‍රය සහිත ලේඛන ගොනුව ඉදිරිපත් කිරීමට එම දෙපාර්තමේන්තුව අපොහොසත් වී අතැයි ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කියා සිටියේය.සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ අංක පී වී 106989 යටතේ ලියාපදිංචි කර ඇති "බැටිකලෝ කැම්පස් පුද්ගලික සමාගම” හි ව්‍යවස්ථාවේ අරමුණු වශයන් (1) තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් සහිත ඩිප්ලෝමා මට්ටමේ කාර්මිකයින් බිහි කිරීම, එය රජයේ හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමයක් යටපත් විද්‍යාලයක් ලෙස පිහිටුවීම, (2) එමඟින් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලබා නොදීම (3) 2007 අංක 7 දරන සමාගම් පනත මඟින් වාණිජ කටයුතු සීමා කොට නොමැති නිසා පනතට අනුකුලව එවැනි ක්‍රියාකාරකම් සිදුකිරිම ලෙස කරුණු තුනක් දක්වා ඇති බවට ද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත.

මෙම බැටික්ලෝ කැම්පස් කොලේජ් ප්‍රයිවට් ලිමිටඩ් යන නම "බැටිකලෝ කැම්පස් පුද්ගලික සමාගම" සමාගම් නමින් ඉකුත් 2016 වර්ෂයේ පෙබරවාරි මස 29 වැනිදා වෙනස් කර ඇති බවත්, ඒ අනුව එම සමාගමේ ව්‍යවස්ථාව ද වෙනස් කර නව ව්‍යවස්ථාවක් ද ඉදිරිපත් කර ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය
අධිකරණයට කරුණු දක්වා ඇත. ඒ අනුව

01. අධ්‍යාපන පරීක්ෂණ සහ සමාජ සංවර්ධනය මුල්කරගත් උසස් අධ්‍යපන ආයතනයක් පිහිටුවිම, ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය සඳහා මැදිහත් නොවිම 02. එම (1) අරමුණු ඉටුකර ගැනීම සඳහා දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සමග සම්බන්ධ වි කටයුතු කිරීම  දක්වා ඇති බව ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කියා සිටියේය.

එසේම, හිරා පදනම සම්බන්ධයෙන් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කරන ලද අතර, එය 2014 වර්ෂයේ දෙසැම්බර් මස 10 දින ජේ ඒ 2991 යටතේ ලියාපදිංචි කර ඇති බවත් එහි අරමුණ ලෙස,
01. තරුණ හා නිපුණතා කටයුතු අමාත්‍යාංශයක් සමග ඒකාබද්ධව වෘත්තීය පුහුණු හා තාක්ෂණ ආයතනයක් ස්ථාපිත කිරීම, 02. දුප්පත් හා විවිධ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා උදව් කිරීම, 03. දුප්පත් හා අඩු ආදායම්ලාභී අවශ්‍යතා ඇති ළමයින් හා තරුණයින් අධ්‍යාපන හා වෘත්තිය පුහුණු නගාසිටුවිම 04. දුප්පත් හා අඩු ආදායම් ලාභී අවශ්‍යතා ඇති පුද්ගලයින්ගේ පානීය ජලය, සනීපාරක්ෂක සෞඛ්‍ය පහසුකම් සඳහා මැදිහත්වීම, 05. ජනතාවගේ සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා උදව් කිරීම්, 06. ජාතික ආපදා සහ සිවිල් ගැටුම්වලදි උදව් හා පුනරුත්ථාපන කටයුතු සඳහා ක්‍රියාකාරිව මැදිහත්වීම යනාදිය දක්වා ඇති බිවද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව 'බැටික්ලෝ කැම්පස් පුද්ගලික සමාගම' සමාගම සහ හීරා පදනම යන ආයතන දෙකේ ආරම්භක අධ්‍යක්ෂකවරුන් වන මොහාමඩ් හිස්බුල්ලා අහමඩ් හිරාස් සහ මොහොමඩ් ලෙබ්බේ අලි මොහොමඩ් හිස්බුල්ලා යන දෙදෙනා "බැටික්ලෝ කැම්පස් පුද්ගලික සමාගම" සමාගම, බැටික්ලෝ යුනිවර්සිටි කොලෙජ්, හීරා පදනම සහ මලික්  අබ්දුල්ලා යුනිවර්සිටි නැමැති ආයතන නමින් සැකකටයුතු ලෙස හිණුම් පවත්වාගෙන යන බවට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය විසින් ඉකුත් ජුලි මස 22 වැනිදා තම
කොට්ඨාසය වෙත වාර්තා කොට ඇති බව ද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ අනුව මෙම සැකකටයුතු ගිණුම් 13 සම්බන්ධයෙන් බැංකු වාර්තා කැඳවිය යුතු බවටත් එම ගිණුම්වලට මුදල් ලැබිම සහ ඒවා වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුව ඇති බව සඳහන් කළ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඒ සඳහා අවසර ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලිමක් කළේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය නියෝග ලබාදෙමින් සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙසට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව 2011 අංක 40 දරන පනතින් සංශෝධිත  2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත් වගන්ති 03 යටතේ සහ 2013 අංක 3 දරන පනතින් හා 2011 අංක 41 දරන පනතින් සංශෝධිත 2005 අංක 25 දරන ත්‍රස්තවාදින්ට මුදල් සැපයීම මැඩපැවැත්විම සම්මුති පනතේ 03 වන වගන්තිය ප්‍රකාරව වරදවල් සිදුකර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් ද විමර්ශනය ආරම්භ කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට සිය බී වාර්තාව මඟින් කරුණු සදහන් කර ඇත.

මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මඩකලපුව පොලිස් අධිකාරි කාර්යාලය වෙත ඉකුත් ජුනි මස 12 වැනිදා සිදුකළ පැමිණිල්ලකට අදාළව පොලිස්පතිවරයා තම කොට්ඨාසයට එම විමර්ශනය යොමු කරනු ලැබූ බව මෙහිදී මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඒබිණි.


-නිමන්ති රණසිංහ-