මනාල යුවළක් පෙරටු කරගෙන මාර්ගය අවහිර වන සේ මහජනතාවට පීඩාකාරී අන්දමින් නළා හඩවමින් කොළඹ - හලාවත ප්‍රධාන මාර්ගයේ ගමන්ගත් වාහන පෙළපාළියක රියැදුරන් 30ක් අත්අඩංගුවට ගෙන දඩ
පත්‍රිකා නිකුත් කර තරයේ අවවාද කර මුදාහැරිය බව වෙන්නප්පුව මූලස්ථාන පොලීසිය පවසයි.

පසුගිය දිනක වෙන්නප්පුව ප්‍රදේශියේ තරු පන්තියේ හෝටලයක පැවැති මංගල උත්සවයක් සඳහා මනාල යුවළක් වයික්කාල ප්‍රදේශයේ සිට වාහන පෙළපාළියකින් මහජනතාවට හා මාර්ගයේ ගමන්ගත් වාහනවලට
බාධාවන අයුරින් ගමන් ගන්නා බවට ලැබුණු තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් වහා ක්‍රියාත්මක වී වෙන්නප්පුව නගරයේදී එම පෙළපාළිය නතර කර රියැදුරන් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පවසන පරිදි මනාල යුවළ ගමන් ගත් මෝටර් රථයේ අංක තහඩු නොපෙනෙන පරිදි සැසිලී කිරීම, පීඩාකාර ලෙස නළා හැඩවීම, මාර්ගය අවහිර කිරීම, මෝටර් රථවල විවිධාකාර පහන් දැල්වීම, මෝටර් රථ ඉබි ගමනින් ධාවනය කිරීම යන චෝදනා යටතේ වාහන 30ක රියැදුරන් වෙත දඩ පත්‍රිකා නිකුත් කර අවවාද කර මුදාහැර ඇත.

වෙන්නප්පුව මුලස්ථාන ප්‍රධාන පොලීස් පරීක්ෂක චමින්ද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් අනුව රථවාහන අංශයේ
ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක නොයෙල් පීරීස් මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා ඇත.

වෙන්නප්පුව ඒම් .ඩී. රවීන්ද්‍ර