වායුසමනය කළ සුබෝපභෝගී නවීන බස් රථ 2,000ක් ධාවනයට එක්කිරිම් ව්‍යාපෘතිය අතරමග නවතින තත්ත්වයක් මතුව ඇතැයි  වාර්තා වේ. නවීන බස් රථ2,000ක් ආනයනය කිරීම සදහා ප්‍රවාහන අමාත්‍යාශය

යොමුකළ කැබිනට් පත්‍රිකාවට පසුගිය වසරේදී අනුමැතිය ලැබුනද මේ සම්බන්ධයෙන් කටයුතු කරන විවිධ රාජ්‍ය ආයතනවල ක්‍රියා හේතුවෙන් එය මෙතෙක් සිදුකර ගැනීමට නොහැකි වී තිබේ.

නවීන බස් රථ ගෙන්වීමේ ව්‍යපෘතිය සම්බන්ධයෙන් විවිධ රාජ්‍ය ආයතන ලිපි හුවමාරු කරගනිමින් සිටින අතර,
බස් රථ ගෙන්වීමට කඩිනමින් කටයුතු නොකරන බවට ප්‍රවාහන අමාත්‍යාශය තාර ඇමතිවරු චෝදනා කරති. නිලධාරීවාදය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය මෙතෙක් යථාර්ථයක් කරගැනීමට නොහැකි වී ඇතැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක්
අබේසිංහ මහතා පැවසීය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

"ලංකාවේ බස් කියලා ධාවනය වෙන්නේ ලොරි චැසිවල හදපු වාහන. මේ නිසා අපට අවශ්‍ය වුණා නවීන බස් රථ ගෙන එන්න, නවීන බස් රථ 2,000ක් රටට ගෙන්වීමට අපි සැලසුම් කළා. නමුත් මේ බස් රථ 2,000 ගෙන ඒකට නිලධාරීන් කොපමණ බාධා කරනවද කියලා බාහිර කවුරුත් දන්නේ නැහැ.


මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට මම ඉදිරිපත් කළේ පසුගිය වසරේ ජුනි මාසයේ. කැබිනට් මණ්ඩලයට දාලා ඊට පස්සේ ජාතික ප්‍රතිපත්ති සභාවෙන් අනුමැතිය ගන්න කිවාම ඒකෙ ඉන්න නිලධාරීන් පුදුම වදයක් දෙන්නේ. මේක කරන්න දෙන්නේම නැහැ. මේ වගේ තමයි හැමදෙයක්ම. එතැනින් අවසරය දෙන්නේ නැතිව දිග ලියුම් එවනවා පිළිතුරු යවන්න කියලා. ඒකට පිළිතුරු යැව්වාම තව එකක් එවනවා.

මේ වගේ පිළිතුරු යව යව ඉන්නවා වැඩේ වෙන්නේ නැහැ. නිලධාරිවාදය නිසා වැඩ කරන්න බැහැ. අන්තිමට මමයි, ඇමතිවරයයි තීන්දු කළා මේ නිලධාරීන් කරන වැඩේ ජනතාවට පැහැදිලි කරලා දෙනවා කියලා" යනුවෙන් පවසා සිටියේය.  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සදහා වායුසමනය කළ සුඛෝපභෝගී නවීන බස් රථ ‍09ක් පසුගියදා ලබාදුන් අතර, කින්ග් ලෝන්ග් (Kingdong) නමැති එම සුඛෝපභෝගී නවීන බස් රථ නවය චීනයේ Xiamen Kinglong United Automotive Industry සමාගමෙන් ඇණවුම් කර තිබිණි.

එම එක් බස් රථයක වටිනාකම රුපියල් මිලියන 17.1කි. මීට පෙර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ගෙන් වූයේ ලොරි චැසි යොදාගෙන සකස් කළ බස් රථ වන අතර, පොදු ප්‍රචාහන සේවාවක් ලෙස ශ්‍රී ලංගම ඉදිරියට ගෙන යැමට නම්, එම ලොරි  චැසි බස් රථ වෙනුවට සුඛෝපභෝගී වායුසමනය කළ නවීන බස් රථ අතවශ්‍ය බව සඳහන් කරමින් සුඛෝපභෝගී බස් රථ ආනයනය කිරීමේ ව්‍යාපෘතිය  ප්‍රවාහන අමාත්‍යාංශය ආරම්භ කළේය.

-චාමර සම්පත්-