තමන් සේවය කරන ජාතික පාසලේ වසර තුනකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලු ගුරුවරුන්ට එම පාසලටම සිය දරුවන් ඇතුළත් කර ගැනීමට අවස්ථාව ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්
කාරියවසම් මහතා ඊයේ (10දා) නිලධාරීන්ට උපදෙස් දී තිබේ. දහස් සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරත වන ගුරුවරුන්ට තමන් සේවය කරන පාසලට සිය දරුවන් ඇතුළත් කර ගැනීම ගැටලුවකින් තොරව සිදුකර ගැනීමට අවකාශ සැලසිම වෙනුවෙන් අමාත්‍යවරයා මේ උපදෙස් දී තිබේ.

මේ තුළින් යහපත් මානසික තත්ත්වයකින් යුතුව තම ඉගැන්වීම් කටයුතු පවත්වාගෙන යෑමට ගුරුවරුන් පෙලඹෙනු ඇති බවත් ඵලදායී සේවයක් ඔවුන්ගෙන් අධ්‍යාපන පද්ධතියට ලබාගැනීමට ඒ හා යම් දිරි ගැන්වීමක් ද ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. ජාතික පාසල් වල 1, 5,6 සහ 11 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමේදී ගුරුවරුන් සඳහා වන මේ විශේෂී තීරණය බලපැවැත්වෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ අතර පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණෙන සියලු මවුපියන්ගේ දැන ගැනීම පිණිස එක් එක් පාසල්වල පවත්නා පුරප්පාඩු ප්‍රසිද්ධියට පත්කර ඒ අනුව අදාළ අයැදුම්පත් යොමු කිරීමට හැකිවන අයුරින් වඩාත් විනිවිද භාවයකින් යුත් වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත ඉතිහාසයේ ප්‍රථමවරට ක්‍රියාත්මක කර තිබේ.

-උදයන්ති මුණසිංහ-