පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් මහින් විකාශය කෙරුණු දේශපාලන වැඩ සටහනකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සහ නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති මනෝජ් ගමගේ මහතා තමාට
තර්ජනයක් වන ආකාරයේ
ප්‍රකාශයක් කළ බව සඳහන් කරමින් ඒ දෙදෙනාට විරුද්ධව රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පෙරේදා (28) සවස කොටුව පොලිසියට
පැමිණිල්ලක් කර ඇති බව පොලිසිය කියයි.

රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයා විසින් සිදුකරන ලද මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගෙන් සහ නීතිඥ මනෝජ් ගමගේ මහතාගෙන් ප්‍රශ්න  කර ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසිය කටයුතු යොදාගෙන යයි.

කොටුව පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු
ලැබේ.

-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-