https://www.gossiplankanews.com/2019/07/nuwan-kulasekara-fairwell.html
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අනගි මෙහෙවරක් සිදු කළ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර අද (24) සවස මාධ්‍ය හමුවක් පවත්වා සිය ශ්‍රී ලංකා ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව නිවේදනය කළේය.
ඔහුට තරගයක් සමග සමුගන්නට අවස්ථාව දෙන ලෙස සිදු කළ ඉල්ලීමට
ක්‍රිකට් ආයතනය ඉඩ ලබා නොදීම හේතුවෙන් මේ ආකාරයට සමුගන්නට සිදුවිය. බංග්ලාදේශය සමග තෙවැනි එක්දින තරගය නුවන්ගේ අවසන් තරගය වනු ඇති බවට ඇමති හරින් ඊයේ ප්‍රකාශ කළද නුවන් කුලසේකරට එම තරගය ක්‍රීඩා කරන්නට අසන්ත ද මෙල් නායකත්වය දරන තේරිම් කමිටුව ඉඩ ලබා දුන්නේ නැත.
නුවන් අද මාධ්‍ය අමතමින් කියා සිටියේ ඒ ගැන තමාට තරහක් නැති බවයි. ඔහුට තරගයක් ක්‍රීඩා කරන්නට අවස්ථාව ලබාදෙන්නට තරම් යෝග්‍යතාවය නැතිදැයි මාධ්‍යවේදියෙකු විමසනු ලදුව නුවන් කියා සිටියේ තමා පසුගිය කාලයේ දිගටම ඕස්ට්‍රෙලියාවේ සිට ක්‍රිකට් ක්‍රීඩා කළ බවත් පසුගිය අප්‍රෙල් දක්වා එහි ක්‍රීඩාවේ නියුතුවූ තමා මාස දෙක තුනකින් පසු ඊට අසමත් බව යමෙකු පවසයි නම් ගැටලුකාරී බවයි.

2003 වසරේදී එක්දින වරම් දිනූ නුවන් කුලසේකර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේ 2005 වසරේදීයි.
එක්දින ජාත්‍යන්තර තරග 184ක්, ටෙස්ට් තරග 21ක් සහ පන්දුවාර 20යි 20 තරග 58කට කුලසේකර සහභාගී විය.
එක්දින කඩුලු 199ක්, ටෙස්ට් කඩුලු 48ක්, පන්දුවාර 20යි 20 කඩුලු 66ක් ඔහුගේ නම ඉදිරියේ සටහන් වේ.
ඔහු එක්දින ශ්‍රේණිගතකිරීම් අනුව ලොව අංක එකේ පන්දු යවන්නා ලෙස පෙරමුණට පැමිණියේ 2009 වසරේදීයි.
කුලසේකර 2017 වසරේ ජූලි මාසයෙන් අනතුරුව කිසිදු ජාත්‍යන්තර තරගයකට සහභාගී වීමට තේරිම් කමිටුව ඉඩ ලබාදී නැත.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අවසානයේ කිසිදු හඩක් නොනගා තමා ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර සිටිය ද ලසිත් මාලිංග සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තමාට තරගයක් ලැබේ යන අපේක්ෂාවෙන් එම තීරණය මදක් ප්‍රමාද කළ බවත් ඒ වෙනුවෙන් පසුව ලිඛිත ඉල්ලීමක් කළ බවත් නුවන් කුලසේකර පවසා තිබේ.
 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිඛිතව දැනුම්දුන් කාරණාව ප්‍රතික්ෂේප වීම මත මෙසේ මාධ්‍ය හමුවකින් තමා සමුගන්නා බව ඔහු අද කීය.