ස්වයං රැකියාවක් ලෙස වඩේ වෙළෙඳාමේ නිරතවූ තරුණ කාන්තාවකට අතින් පයින් පහරදී තුවාල සිදුකිරීමේ චෝදනාවට හා රජයේ නිලධාරින්ට අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ චෝදනාවට සැකපිට හිමිනමක්
අත්අඩංගුවට ගත් බව හිදෝගම පොලිසිය පවසයි. හිදෝගම පොලිස් වසමේ අතුරුවැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන හිමිනම සිදුකළ පහරදීමෙන් තුවාල ලැබූ 42 හැවිරිදි කාන්තාව නාව්චාදුව රජයේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

සැකකාර හිමිනම හිදෝගම - නාච්චාදුව ප්‍රධාන මාර්ගයේ පිහිටි පිහිඹියා
ගසක් කපාදමන ලෙස විහාරස්ථානයේ සිටි ආවතේවකරුවකුට (ඇබිත්තයා) පවසා ඇති බවත් ඔහු ගස කැපීමට පැමිණි අවස්ථාවේ පහරකෑමට ලක්වූ කාන්තාව ගස කපා දැමීම සිදුනොකරන ලෙස ඉල්ලා තිබේ.මාර්ගයට හා සිය තාවකාලික වෙළෙඳසලට සෙවණ සලසන ගස කපා දැමීම සිදුනොකරන ලෙස කාන්තාව ආවතේවකරුගෙන් ඉල්ලූ අවස්ථාවේ ඊට කුපිත වූ ඔහු විහාරස්ථානයට ගොස් කඩේ කරන ගෑනි ඔබවහන්සේ පරුෂ වචනයෙන් බැන වැදුණායි හිමියන්ට පවසා තිබෙන අතර, ඉන් කුපිත වූ චිවරධාරියා කාන්තාව අසලට පැමිණ ඇයට පහරපිට පහරදී පලාගොස් තිබුණු බව පොලිසිය කියයි.

පසුව කළ පරීක්ෂණවලදී 2018 වසරේදී හිදෝගම පොලිස් ස්ථානයේ සේවයේ නියුතු වූ පොලිස් සැරයන්වරයකු එම විහාරස්ථානයට කඩාවැදි මල් පෝච්චි කිහිපයකට පහරදී අලාභ හානි කළ බව කියමින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දුන් ඇමතුමක් පිළිබඳවත් පොලිසිය පරීක්ෂණ පවත්වා තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ සැකකාර හිමිනම වෙනත් සිම්කාඩ් පතක් යොදාගනිමින් පොලිස් හදිසි ඇමතුම් අංශයට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කර පොලිස් සැරයන්වරයා අපහසුතාවට පත්කර තිබෙන බවයි.

කාන්තාවකට පහරදීම හා පොලිස් නිලධාරීන්ට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ චෝදනාව මත සැකකාර හිමිනම ඊයේ (21දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි. හිදෝගම පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ගුණතිලක මහතාගේ උපදෙස් මත හිමිනම අත්අඩංගුවට ගෙන තිබිණි.

-මහේෂ් විජේසුරිය-