සමාජ මාධ්‍ය මාර්ගයෙන් තරුණ තරුණියන් හවුල්කර ගනිමින් කරන මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලා පුද්ගලයන් ‍දෙළොස් දෙනකු අත්අඩංගුවට ගැනීමට මාතර දිසා දූෂණ මර්දන අංශය සහ කොට්ඨාස දූෂණ මර්දන අංශය
පෙරේදා (13දා) රාත්‍රි සමත් විය. මුහුණුපොතේ මැසෙන්ජර් මඟින් දිවයින පුරා තරුණ තරුණියන් සම්බන්ධ කරගෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම බෝට්ටුවක් මඟින් මහ මුහුදේදී කරනු ලබන බවට මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රියන්ත මහතාට ලැබුණු නිර්නාමික තොරතුරක් මත මෙම වැටලීම කර ඇත.

එම තොරතුරුවලට අනුව මාතර බස් නැවතුම්පොළේදි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මිරිස්ස වරායෙන් මෙම තරුණ තරුණියන් කණ්ඩායම පිටත් වී මහ මුහුද මැදදී මෙම සාජ්ජය පවත්වන බවට තොරතුරු අනාවරණය කරගෙන ඇත. පසුව කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සහ මාතර දිසා දූෂණ මර්දන අංශයේ නිලධාරින් එම ස්ථානයේ රහසිගතව කළ වැටලිමකින් පසු තරුණයන් නවදෙනකු සහ තරුණියන් තුදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත් වූයේ ගාල්ල, කුරුණෑගල, හෝමාගම, මොරටුව, ගණේමුල්ල, මාකොළ, අංගොඩ, මාතර සහ වැලිගම යන ප්‍රදේශවල වයස අවුරුදු 24 හා 21 අතර තරුණයන් සහ රත්මලාන, පිළියන්දල සහ වත්තල ප්‍රදේශයේ පදිංචි වයස 26 හා 21 අතර තරුණියන් තිදෙනකු ඇතුළු ‍දොළොස් දෙනෙකි. මොවුන් සතුව හඳුනානොගත් මත්පෙති මිලිග්‍රෑම් 474ක්,
විස මත්ද්‍රව්‍ය වන නර්තන මුද්දර 08ක්, එම්.ඩි.එම්. විස මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1170ක්, කේරළ ගංජා මිලිග්‍රෑම් 5500ක්, දේශීය සිගරැට් විශාල ප්‍රමාණයක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1490ක් ඔවුන් සන්තකයේ තිබී ඇත. මෙම සාදයට තවත් තරුණ තරුණියන් අසූදෙනකු පමණ සහභාගි වී සිටි අතර ඔවුන් සන්තකයේ මත්ද්‍රව්‍ය නොතිබීම නිසා ඔවුන් මුදාහැර තිබේ.

ඩී.ජේ. සංගීතයට නටන නාටිකාංගනාවන් පිරිසක්ද මෙම ෆේස්බුක් සාදයට යෑමට සූදානමින් සිටි බව පොලිසිය කියයි. අධි සුඛෝපභෝගී වායුසමීකරණය කරන ලද බෝටුවක මෙම සාදය සංවිධානය කර තිබී ඇත. මෙම සාමාජිකයන්ගෙන් රුපියල් හයදහසේ සිට දොළොස් දහස දක්වා මුදල් අය කර ඇති බවට තොරතුරු අනාවරණය විය.

ෆේස් බුක් සාදයේ සැකකරුවන් දොළොස්දෙනා මාතර වැඩබලන මහෙස්ත්‍රාත් තිස්ස දිසානායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් අටදෙනකු රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප මත මුදාහැර ඇති අතර සෙසු හතරදෙනා මේ මස 19 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

-උදය කුමාර රණවීර-