මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ තරග තීරක සහ විනිසුරුවරයෙකු ලෙස ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු නම් කර තිබේ.

ඒ අනුව එම තරගයේ තරග තීරක ලෙස රන්ජන් මඩුගල්ලේ නම් කර ඇති අතර කුමාර් ධර්මසේන පිටියේ විනිසුරුවරයෙකු ලෙස නම් කර ඇති බව
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

1993 වසරේ සිට මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 169ක තරග තීරක ලෙස රන්ජන් මඩුගල්ලේ කටයුතු කර තිබේ.

කුමාර් ධර්මසේන 2009 වසරේ සිට මේ දක්වා විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති එක්දන ජාත්‍යන්තර තරග සංඛ්‍යාව 102කි.

මේ අතර අවසන් මහා තරගයේ පිටියේ සෙසු විනිසුරුවරයා ලෙස දකුණු අප්‍රිකානු ජාතික මරේ එරස්මස් විනිසුවරයා කටයුතු කිරීමට නියමිත අතර ඔස්ට්‍රේලියානු ජාතික රොඩ් ටකර් තෙවන විනිසුරුවරයා ලෙස නම් කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලබන 14 වැනිදා ලෝඩ්ස් හිදී පැවැත්වීමට නියමිතයි