කළුතර ප්‍රදේශ රැසක මංමාවත්වල සහ විවිධ ආයතනවල අරාබි අක්ෂර භාවිත කරමින් දැන්වීම් පුවරු නිර්මාණය කර ප්‍රදර්ශනය කර ඇති බැවින් ඒවා ඉවත් කරන ලෙස කළුතර සිංහල බෞද්ධ ව්‍යාපාරික
වෘත්තීයවේදි සංගමයේ සභාපති
ජාමුනි සමන්ත තුෂාර මහතා කළුතර දකුණ පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල, දෙමළ හා ජාත්‍යන්තර භාෂාව ඉංගීරසි බවත් ඊට පටහැනි ලෙස අරාබි අක්ෂර යොදාගෙන කල්ලී පෙදෙස, අල්විස් පෙදෙස, කළුතර ගාලු පාර වෙටුමකඩ ප්‍රදේශය, යොන් විදියේ පිහිටි මුස්ලිම් කාන්තා විදුහල, අල්මිස්ගගුල් හස්නියා අරාබි විදුහල මෙන්ම එකී ප්‍රදේශයන්හි පිහිටි ආපන ශාලාවල, රජයේ විද්‍යාලවල අරාබි අක්ෂර යොදාගෙන නාම පුවරු ප්‍රදර්ශනය කර ඇති බව සභාපතිවරයා කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම පුවරු ඉවත් කරන ලෙස කළුතර නගර සභාව, ප්‍රාදේශීය සභාව සහ කළුතර ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ලිඛිත දැනුවත් කළ බවත් ඔහු කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ. කළුතර සිංහල බෞද්ධ ව්‍යාපාරික වෘත්තීයවේදි සංගමයේ සභාපතිවරයා සිය පැමිණිල්ල සමඟ අරාබි අක්ෂර යොදාගෙන ප්‍රදර්ශනය කර තිබෙන පුවරුවල ඡායාරූප ද පැමිණිල්ල සමඟ පොලිසිය වෙත ඉදිරිපත් කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

-එම්.සී.පෙරේරා-