ලෝක ඉතිහාසයේ වඩාත් කථාබහට ලක්වූ ඊජිප්තුවේ පාරාවෝ රජ පෙළපතේ ටුටන්කාමන් රජුගේ බව දක්වමින් ලන්ඩනයේ වෙන්දේසියකදී පවුම් මිලියන 4.7 කට අලෙවි වු තිරිවානා මූර්තිය එලෙස අලෙවි කිරීම නීති විරෝධී බව දක්වමින් ඊජිප්තු ර
ජයේ නියෝජිතයින් නඩු මගට එළැඹ තිබේ.

මෙම වෙන්දේසිය සිදු කර තිබුනේ පසුගිය ජූලි මස 3 වනදා ක්‍රිස්ටීස් ඇන්ටික්ස්  Christie's antiquities නමැති එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසි සමාගමකි. වසර 3300 ක් පැරණි බව කියැවෙන මෙම මූර්තිය පවුම් මිලියන 4.7 ක් ගෙවා මිලට ගත් පුද්ගලයා හෙළි කර තිබුනේ නැත.

කෙසේ වෙතත් වෙන්දේසිය ගැන සැලවූ අවස්ථාවේ සිට ඊජිප්තු රජයේ පුරාවස්තු රක්ෂිත කමිටුව එයට විරෝධය පළ කර තිබූ අතර අයිතිය පිළිබඳ නිසි තහවුරුකිරීමකින් තොරව පුද්ගලික පරිහරණය පිණිස රටක ජාතික වස්තුවක් විකිණීම සදාචාරයට මෙන්ම නීතියට පටහැණි බව දක්වා තිබුණි.


එම පුරාවස්තුවේ අයිතිය පිළිබඳ මතභේද පැවති අතර ඊජිප්තු රජය මේ කරුණු මතු කර එය වෙන්දේසි කළ සමාගමට එරෙහිව මේ වනවිට නඩු පවරා තිබේ.
ඉන්ටර්පෝල් පොලිසිය මගින් මෙම වෙන්දේසිය ගැන පරීක්ෂණයක් පවත්වන ලෙසත් දන්වා තිබේ.
කෙසේ වෙතත් වෙන්දේසිය සිදු කළ එංගලන්තයේ ක්‍රිස්ටීස් ඇන්ටික්ස් තමන් අතින් වරදක් සිදුව නැති බව ස්කයි නිවුස් ප්‍රවෘත්ති සේවය වෙත ප්‍රකාශයක් ලබාදී දන්වා ඇත.