මඩකළපුව පෞද්ගලික කැම්පස් ආයතනය රජයට පවරාගත යුතු බවට පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික කාරක සභාව කළ නිර්දේශය පිළිබඳ එකඟතාවක් පළ නොවීම නිසා එම ආයතනය රජයට පවරා ගැනීමේ
යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමත වි නොමැත. පාර්ලිමේන්තුවේ අධ්‍යපන ආංශික කාරක සභාව විසින් එය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගතයුතු බවට කරන ලද නිදේශ ඇතුළත් යෝජනාව ඊයේ (2දා) පැවැති කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ගෙන ඇත.

එම ආයතනය උසස් අධ්‍යපන
අමාත්‍යාංශය යටතේ ඇති අනුබද්ධ ආයතනයක් ලෙස ක්‍රියාත්මක කළ හැකිද? යන්න පිළිබඳ එහිදි ජනාධිපතිවරයා විමසා තිබේ. ඊට පිළිතුරු දෙමින් අගමැතිවරයා එය පෞද්ගලික ආයෝජනයක් බැවින් එය රජයට පවරා ගතහොත් අනෙකුත් ආයෝජකයෝද අධෛර්යට පත් වන බව අවධාරණය කොට ඇත.

ඒ අනුව එය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට පවරා ගැනීම ගැන විරුද්ධ බවද ඔහු සඳහන් කර ඇත. අගමැතිවරයාගේ අදහසට මෙහිදී පාඨලී චම්පික රණවක ඇමැතිවරයා විරුද්ධත්වය පළ කර ඇත. එම පෞද්ගලික ආයතනයට අරමුදල් ගැනීමේ සිට නීත්‍යානුකූලව කටයුතු කර නැති බවත් එය ජනතාවගේ සැකයට බඳුන් වී ඇති ආයතනයක් බවත් ඔහු පෙන්වා දී ඇත. එවැනි තර්ක හමුවේ එය රජයට පවරා ගැනීම සඳහා වූ යෝජනාවද අනුමත වී නොමැති බවද කැබිනට් මණ්ඩලයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

-දෙනගම ධම්මික රණවීර-