රත්නපුර, හංගමුව අළුකැටිය ප්‍රදේශයේ එකම නිවෙසක ජීවත් වූ සහෝදරයන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක් දුර දිග යෑමෙන් 32 හැවිරිදි අයියා 29 හැවිරිදි මල්ලිට යකඩ පොල්ලකින් ශරීරයේ ස්ථාන 82කට පහරදී මරා දමා සිටියදී අසල්වාසීන්ගේ පැමිණිල්ලක් මත රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ
ස්ථානාධිපති පොලිස් පරික්ෂඛ විජේසිරි මහතා ඇතුළු කණ්ඩායමක් මියගිය අයගේ සිරුර එම නිවෙසේ තිබියදී සොයාගෙන ඇත. මෙම මිනී මැරුම පසුගිය 20 වැනිදා රාත්‍රියේ සිදුව ඇත.

මියගිය අයගේ සිරුර පසුදින පෙරවරුවේ පොලිසිය විසින් සොයාගන්නා ලදි. මේ පිළිබඳව මරණ පරික්ෂණය කළ මරණ පරීක්ෂකවරයා සිය පරික්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත්තේ මියගිය අයගේ සිරුර අභ්‍යන්තරයේ ස්ථාන 82කට පහරදිමෙන් දැඩි හානි සිදුව ඇති බවයි. මෙම පහරදිමෙන් ඉළඇට බිඳී, සුෂුම්නාව කැඩී, කකුල් දෙකම කැඩි, හෘදය වස්තුවක් පුපුරා ඇති බවද මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව ඇත.
මියගිය අය හා පහරදුන් සැකකරුද අවිවාහක පුද්ගලයන් වන අතර ඔවුන් දෙදෙනාම දැඩි ලෙස මත්පැන්වලට ගොදුරු වී සිටි අය බවද ඔවුන් අතර නිතර නිතර ආරවුල් සිදුවන බවද මියගිය අයගෙන් ප්‍රදේශයේ අයටද නිතර හිරිහැර සිදුවන බවද අසල්වාසිහු කිහිපදෙනෙක් පැවැසූහ.

ඔවුන්ගේ මව විදේශ රැකියාවක නිරතව සිටින අතර පියා වෙනත් විවාහයක් කරගෙන අසල්වැසි ගමේ ජීවත් විය. මිනීමැරුම කළ ඝාතකයා පොලිසියට භාර වීමට පැමිණෙමින් සිටියදි ඔහුට පොලිසියට යා නොදී කරපිංච ප්‍රදේශයේ කන්ටේනරයක් තුළ සැඟවී සිටිමට ආධාර අනුබල දුන් බව කියන රත්නපුර නව නගර ප්‍රදේශයේ පදිංචි ටිපර් රථ රියැදුරකුද අදාළ මිනීමැරුම සිදුකළ පුද්ගලයාද අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක විජේසිරි මහතා පැවැසීය. ඔවුන් දෙදෙනාම අද දින රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.