කුවේටයේ අනවසරයෙන් රැඳී සිටි විදේශිකයන් එක්ලක්ෂ හතලිස් අට දහසක් පමණ පසුගිය 6 වසර තුළ එරටින් පිටුවහල් කරනු ලැබ ඇතැයි අරාබි බසින් කුවේටයේ පළ කෙරෙන අල්-අන්බා ඩේලි පුවත්පත වාර්තා කර ඇත. වීසා සහ කම්කරු නීති උල්ලංඝනය කළවුන් මෙන්ම අපරාධකරුවන්ද
ඔවුන් අතර සිටින බව එහි සඳහන්ය. මේ අතරට අයත් ශ්‍රි ලාංකික පිරිස දාහත්දහසක් පමණ වේ.

කුවේට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක් ඇසුරෙන් සකසා ඇති එම ලිපියේ දැක්වෙන පරිදි, සමස්ත පිටුවහලුන් අතරින් 88,000ක් පුරුෂයන් වන අතර 60,000ක් ස්ත්‍රීහු වෙති. ඔවුහු ජාතීන් ගණනාවකට අයත්ය.
පුරුෂයන් අතරින් එක් ජාතියකට අයත් වැඩිම පිරිස ඉන්දියානුවෝය. එම පිරිස 29,000 ඉක්මවයි. කාන්තාවන් අතරින් වාර්තා වන වැඩිම පිරිස ඉතියෝපියානුවන්ය.

ඔවුන් ගණනින් 14,000කි. පිලිපීන කාන්තාවන් 13,500ක් වන අතර ශ්‍රී ලංකාවේ 12,000ක්ද, ඉන්දියාවේ 7,000ක්, නේපාලයේ 5,000ක්, ඊජිප්තුවේ 400ක් සහ බංගලාදේශයේ 200ක් ආදී වශයෙන් කාන්තා පිරිස බෙදී ගොස් ඇත. ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකූලව සිදු කෙරෙන මෙම පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය නිසා කිසිවකුට අයුක්තියක් හෝ අසාධාරණයක් සිදු නොවන පිණිස නියෝජ්‍ය අගමැති සහ අභ්‍යන්තර කටයුතු ඇමැති ලුතිනන් ජෙනරාල් ෂෙයික් කාලිඩ් ජාරාගේ දැඩි අධීක්ෂණය යටත් එය සිදු කෙරෙන බවද පුවත්පත සඳහන් කරයි.

පිටුවහල් කරනු ලැබීමට නියමිත ඇතැම් පුද්ගලයන් සිය රටවල දේශපාලන අනාරක්ෂිත භාවය සලකා තමන් පිටුවහල් නොකරන මෙන් ඉල්ලා ඇති බව සඳහන් කරන කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය, ඒ පිළිබඳ සොයා බැලීමෙන් පසු ඒ කරුණු සත්‍ය බව තහවුරු වුවහොත් UNHCR වැනි ජාත්‍යන්තර සංවිධාන වෙත ඔවුන් පිළිබඳව දැනුම් දෙන බව සඳහන් කර ඇත.