වියළි කාලගුණය හේතුවෙන් දිවයින්නේ දිස්ත්‍රික්ක 17කට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් ඒ හේතුවෙන් පවුල් 125,236කට අයත් පුද්ගලයන් 453,530ක් පිඩාවට පත්ව ඇති බත්ව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (7) සිය නවතම ආපදා තත්ත්ව වාර්තාව මගින් සදහන් කළේය. වියළි කාලගුණ තත්වය හේතුවෙන්
වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ උතුරු පළාතේය. එහි පවුල් 57,473කට අයත් පුද්ගලයන් 193,170ක් පීඩාවට පත්ව සිටිති.

එසේම දෙවනුවට වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ නැගෙනහිර පළාත්තේ වන අතර එම පළාතේ පවුල් 37,511කට අයත් පුද්ගලයන් 155,703 දෙනෙක් පීඩාවට පත්ව තිබේ.
වියළි කාලගුණය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 3,086කට අයත් පුද්ගලයන් 10,590ක්ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 160කට අයත් පුද්ගලයන් 500ක්ද, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 10,435කට අයත් පුද්ගලයන් 34,144ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 4,399කට අයත් පුද්ගලයන් 14,215ක්ද, වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 39කට අයත් පුද්ගලයන් 105ක් සහ යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 21,078කට අයත් පුද්ගලයන් 70,59ක්ද පීඩාවට පත්ව තිබේ.

මෙම එසේම මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 18,074කට අයත් පුද්ගලයන් 63,115ක්, කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 5,516කට අයත් පුද්ගලයන්19,262ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 12,766කට අයත් පවුල් 40,093ක්, මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 5,158කට අයත් පුද්ගලයන්  19,462ක්ද පීඩාවට පත්ව තිබේ. ඊට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 2,149කට අයත් පුද්ගලයන් 9,316ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 3,523කට අයත් පුද්ගලයන් 11,225ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 915කට අයත් පුද්ගලයන් 3,329ක්, අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 11,536කට අයත් පුද්ගලයන් 69,957ක්, ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 2,457කට අයත් පුද්ගලයන් 81,13ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ පවුල් 23,518කට අයත් පුද්ගලයන් 77,633ක් සහ මොනරාගල දිස්ත්‍රික්කයේ පවුල් 340කට අයත් පුද්ගලයන් 1,530ක් පීඩාවට පත්ව තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු දත්තවලට අනුව වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකිය. පීඩාවට පත්වූවන් සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සමග එක්ව මේ වන විට ආරම්භ කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේය. මේ අතර බදුල්ල, මාතලේ, නුවරඑළිය
සහ මොණරාගල යන දිස්ත්‍රික්කවලින් කැළෑ ගිනි තැබීම් තත්වයන් රැසක් වාර්තා වී ඇති බව ඒ මහතා පැවසීය.

ගිනි තැබීම් තත්වයන් වළක්වා ගැනීම ඉදිරියේදී ඇති විය හැකි ආපදා තත්වයන් අවම කරගැනීම සදහා වැදගත් වන බව පෙන්වාදෙන  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තවදුරටත් සඳහන් කළේ ජනතාව මේ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.  එසේම වියළි කාලගුණය හේතුවෙන් දිවයින පුරා වැව් 14,000ක් පමණ සිදීගොස් ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ ප්‍රධානී ප්‍රහාත් විතාරණ මහතා පැවසීය.

කෙසේ වුවද මෙවර යල කන්නයේ වගා කරන ප්‍රදේශ සඳහා ජලය නිකුත් කිරීමට වියළි කාලගුණයෙන් දැඩි බලපෑමක් එල්ල නොවූ බව ඒ මහතා සඳහන් කළේය. වියළි කාලගුණයත් සමග සිය භාරයේ ඇති ජලාශ 73හි ජල ධාරිතාව සියයට 26ක් දක්වා පහත වැටී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය. ප්‍රධාන මහවැලි ජලාශ ගණනාවක ජලමට්ටම ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බව ඔවුහු සඳහන් කරති.

එසේම විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් අඩු වී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පැවසීය. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කර සිටියේ වියළි කාලගුණය හේතුවෙන් විදුලිය නිෂ්පාදනය කිරීමේදී දැඩි අභියෝගයක් එල්ල වී ඇති බවයි. එම තත්වය පාලනය කර ගැනීම සඳහා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

-සුමන උදයන්ත-