කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් පෙරේදා (16) පස්වරුවේ සිට ආරම්භ කළ පැය 48ක වැඩ වර්ජනය හේතුවෙන් රටපුරා බෙදාහැරීමට නොහැකි වූ ලිපි හතරකට අධික සංඛ්‍යාවක් ගබඩා කාමරවලට
ගොඩගැසී ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු චිත්තක බණ්ඩාර මහතා  (17)ඊයේ  පැවසීය.

ඉබි යතුරු දමා මධ්‍යම තැපැල් හුවමාරුව වසාදමා සේවකයන් 3000ක් පමණ සේවයෙන් ඉවත්ව සිටින බව ද ඒ මහතා කීය. වැඩ වර්ජනය අද (18) පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මකය.
සිය ඉල්ලුම්වලට විසදුමක් ලබාගැනීමේ අරමුණින් ආරම්භයක් ලෙස මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කළ බවද චින්තක බණ්ඩාර මහතා පැවසිය.  ඊයේ (17) වන විට මධ්‍යම තැපැල් හුවමාරුව පාළුවට ගොස් නිබූ අතර ප්‍රවාහන අංගයේ වෑන් රථ සියල්ලම ගාල් කර තිබුණි.

මෙම වර්ජනය හේතුවෙන් සාමාන්‍ය ලිපි ලක්ෂ 3ක්ද, ලියපදිංචි කළ ලිපි ලක්ෂයක්ද පෙරේදා (16) පස්වරුවේ සිට කොළඹින් පිට පළාත්වලට බෙදීම මුළුමනින්ම ඇන හිට ඇතැයි ඒ මහතා කීය.

පිට පළාත්වලින් කොළඹට ලිපි එවීමද නතර වී තිබේ.
කටුනායක ගුවන්තොටුපළ විදේශීය තැපැල් අංශයේ ලිපි රැගෙන ඒම මුළුමනින්ම නැවතී ඇති අතර ඒ හේතුවෙන් විදෙස් තැපැල් මලු 50කට අධික සංඛ්‍යාවක් එහි ගබඩාවක රඳවා ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

බඳවා ගැනීමේ පටිපාටියට අදාළ කැබිනට් පත්‍රිකාව සම්මත කර ගැනීම රටපුරා සිදුකරන ලබන සේවක අයිතීන් කප්පාදුව නැවැත්වීම ඇතුළු ඉල්ලීම් කිපයක් මේ අතර වන බව ද මෙම සංකේත වැඩ වර්ජනයට රජයෙන් ප්‍රතිචාරයක් නොවේනම් ඉදිරියේ දී රටපුරා තැපැල් වැඩ වර්ජනයකට යාමට සිදුවන බව ද චින්තක බණ්ඩාර මහතා කීය.