මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකාව සහභාගි වන සිවුවැනි තරගය අද
(11දා) බංග්ලාදේශය සමඟින් බි්‍රස්ටල්හි කවුන්ටි පිටියේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට
ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර 46 වැනි තරගය ලෙසින් පැවැත්වෙන මෙම තරගය දෙපිලටම අතිශය වැදගත් වී ඇති අතර,
මෙම තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයටත්,
බංග්ලාදේශය ජයගතහොත් ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි හෝ හයවැනි ස්ථානයටත් ඉදිරියට පැමිණීමට
අවකාශය සැලසී තිබේ.

බි්‍රස්ටල් ප්‍රදේශයට මේ දිනවල සෙන්ටිගේ‍ර්ට් අංශක 14ක දැඩි ශීතල උෂ්ණත්වයක් සහිතව වැහිබර
කාලගුණයක් පවතින හෙයින් අද පැවැත්වෙන තරගයටත් වර්ෂාවෙන් බාධා පැමිණිය හැකි බවද සඳහන් වේ.

වේගපන්දු යවන්නන්ට හා දඟ පන්දු යවන්නන්ට සම ප්‍රතිඵල ගෙන දෙන මෙම කවුන්ටි පිටියේදී ශ්‍රී ලංකා
කණ්ඩායම එක්දින තරග 4කට සහභාගි වී තිබුණද තරග දෙකක් වර්ෂාව හේතුවෙන් අතරමඟදී අත්හැර දමා
තිබූ අතර, තීරණය විසඳුණු තරග දෙකම ශ්‍රී ලංකාව පරාජයට පත්ව ඇත.

එංගලන්තයට එරෙහිව කඩුලු 9කට ලබාගත් ලකුණු 248 මෙම පිටියේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් වාර්තා කළ
ඉහළම ඉනිම බවට පත්ව ඇති අතර, කුමාර් සංගක්කාර 2002 වසරේදී ඉන්දියාවට එරෙහිව ලැබූ ලකුණු
66 මෙම පිටියේදී ශ්‍රී ලාංකික ක්‍රිඩකයකු ලැබූ ඉහළම ඉනිම බවට පත්ව තිබීමද විශේෂත්වයකි.

මේ අතර අද පැවැත්වෙන තරගය සඳහා ඇෆ්ගනිස්තානය සමඟින් ක්‍රීඩා කළ කණ්ඩායමම ක්‍රීඩා කිරීමට
ඇති නමුත් මේ වනවිට ආබාධයකට ලක්ව සිටින නුවන් ප්‍රදීප්ගේ ස්ථානයට ජීවන් මෙන්ඩිස් හෝ මිලින්ද
සිරිවර්ධන යොදා ගැනීමට ඉඩ ඇති බවද පැවැසේ.

කෙසේ වෙතත් 2017 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය තරග 7කදී මුණ ගැසී ඇති
අතර, දෙපිලම තරග තුන බැගින් ජයගෙන එක් තරගයක් විසඳුමකින් තොරව අවසන් වී ඇති හෙයින් අද
පැවැත්වෙන තරගය තියුණු මුහුණුවරක් ගනු ඇති බවට සැක නැත.