දැනට රැදවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන වෛද්‍ය ෂාෆි ෂිහාබ්දින් මහතා, එසේ රඳවා ගැනීමෙන් තම මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්  ඉදිරිපත් කර තිබේ. වෛද්‍ය ෂාෆි සිහාබදීන්ගේ නීතිඥ රූෂ්ඩි හබීබ් මහතා මගින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්
ලෙස කුරුණෑගල පොලිසියේ ස්ථානාධිපතිවරයා, කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පලාල්, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, වැඩබලන පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ නීතිපතිවරයා නම් කර තිබේ.

මෙම පෙත්සම මගින් වෛද්‍ය ෂාෆි සිහාබ්දීන් මහතා  කියා සිටින්නේ සිංහල බෞද්ධ කාන්තාවන් 4,000 කට අධික සංඛ්‍යාවක් තමා විසින් සැත්කම් සිදු කිරීමේදී වද කළ බවට පුවත් හා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පුවත් පළවීමෙන් පසුව පොලිසිය කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් අත්අඩංගුවට ගත් බවයි.  ආරක්ෂක ලේකම්වරයා විසින් නිකුත් කළ රැඳවුම් නියෝගයට අනුව තමන්ව මේ වන විට රහස් පොලිසිය හාරයේ රදවාගෙන ප්‍රශ්න කිරීම සිදු කෙරෙන බවද වෛද්‍ය ෂාෆි සිය පෙත්සමේ සඳහන් කර තිබේ.

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් අත්අඩංගුවට ගෙන රදවා ගැනීම තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරු, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ලේකම්වරයා විසින් තමන් රදවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැඳවුම් නියෝගය අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන්ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.